Wreck-It Ralph දෙකට Mario’ත් ඉන්නවලු.

Disney සමාගමෙන් නිර්මාණය කර බෙදා හැරුණු ‘Wreck -It Ralph (2012)’ සජීවීකරණිත සිනමා කෘතිය ඩොලර් මිලියන 165ක වියදමක් දරල කරපු එකක්. ඒ වුණාට ඒ මුදල හොයන එක ඒකට එච්චර ලොකු අසීරුවක් ඇති කළේ නෑ. මේ වෙද්දි මේ චිත්‍රපටය ඇමෙරිකාව තුළ පමණක් ඩොලර් මිලියන 169 ඉක්මවා ගිය ආදායමක් ‍රැස් කරලයි තියෙන්නේ. තවමත් මෙය ලොව පුරා ප්‍රදර්ශනය ඇරඹුවා පමණයි මේ… දැනට ඇමෙරිකාවේ ප්‍රදර්ශනය අරඹා සති 07ක් ඉක්මවා ගියත් තවමත් ආදායම් වාර්තා ලැයිස්තුවෙ 07 වැනි තැන උසුලන්නේ මේ නිර්මාණය.

Disney වෙනුවෙන් මේක නිෂ්පාදනය කළේ එහි අනුගාමී සමාගමක් වන Buena Vista චිත්‍රාගාරය. එහි නිමැවූ සිනමාවන් අතරින් හොඳම ආරම්භක සතියේ ආදායම වාර්තා කරන්නෙත් මේ සලරුවයි. ඒ වගේම දැනට Buena Vista නිර්මාණයන්ගේ සමස්ත ආදායම් වාර්තාවන්ගෙන් දෙවැනි තැනත් මේකට හිමි වෙලා. ඉතිං තත්ත්වය මේ විදිහට වෙනකොට මේකට අනුබද්ධ නිර්මාණයන් එළි දක්වන්නට ඔවුන් හිතන එකේ පුදුමයක් නෑ. ඒ නිසාම වෙන්ඩ ඇති මෙහි දෙවැන්නේ වැඩ කටයුතු දැනටමත් අවධානයට නතු වෙලා. Disney නිර්මාණ ආදායම් අතින් මෙය දැනට දෙවෙනි වන්නේ ‘Tangled (2010)’ ට පමණයි. ඒකත් Buena Vista සමාගමේ වැඩක්.

ඔබ දැනටමත් වටහා ගෙන ඇති පරිදි මේ චිත්‍රපටය පරිගණක ක්‍රීඩාවන් ආශ්‍රිත චරිත යොදා ගනිමින් කරන ලද නිර්මාණයක්. මෙහි දෙවැන්නෙහි දී තවත්; දිසිරූ ක්‍රීඩා ලොව දිග් විජය කරන්නට සමත් වුණු, නම කී සැණින් සැවොම හඳුනන චරිතයක් දැකගන්නට ලැබෙන බවයි ආරංචිය. ඒ තමා Mario(මාරියෝ). තවම මේ චිත්‍රපටයේ වැඩ නිල වශයෙන් ආරම්භ වෙලා නෑ. මේ වනවිට කෙරෙන්නේ එහි කතාව කුමනාකාරයක් ගත යුතුද කියන එක තීරණය කිරීමේ මූලික වැඩ කටයුතු පමණයි. මේ වෙනකොට ඒ ගැන සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බව තමයි දැනගන්නට ඇත්තේ. පළමු චිත්‍රපටයේදීම ‘Mario’ තිරයට නොපැමිණීමේ හේතුව ඔහුට සුදුසු ඉඩකඩක් ඒ තුළ නොමැති වීම කියල තමයි හෙළිදරව් කරල තියෙන්නේ. මාරියෝ චරිතයේ අයිතිකරුවන් සහ නිර්මාණකරුවන් වන Nintendo සමාගම තම අවසරයත් මේ වෙනුවෙන් ප්‍රකාශ කර තිබෙනවාලු.

Wreck-It Ralph I හි දී හමු වූ දිසිරූ ක්‍රීඩා චරිත අතර Sonic නමැති ඉත්තෑවා. Bowser, Zangief වැනි චරිත අඩංගුයි. හරියට Toy Story II වලින් පටන් අරං එහි III වැන්නෙහිදී ප්‍රබල බවට පැමිණි Barbie වගේ මේකෙදි Marioටත් ලොකු වැඩ කොටසක් ඉ‍ටු කරන්ඩ හැකි වෙයි කියලයි විශ්වාස කරන්නේ. කොහොමත් සංකල්ප ගැන සලකන කොටනම් Wreck-It Ralph චිත්‍රපට මාලාවක්ම නිර්මාණය කරන්නට අවැසි තේමාවන්ගේ කිසිදු හිඟයක් නැති බව සහතිකයි. මොකද දිසිරූ ක්‍රීඩාවන් ආශ්‍රිත චරිතයන්ගේ අඩුවක් නෑ වාගේම ඒ ආශ්‍රිත කතාවන් සංවර්ධනය කිරීමේ හැකියාවෙහිත් කිසිදු අඩුවක් නැති නිසා.

උදා (217 Posts)


2 thoughts on “Wreck-It Ralph දෙකට Mario’ත් ඉන්නවලු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *