හතේ පළවැන්න ගැඹුරෙන් කියැවීම හෙවත් Season 7 First episode Hard review

මේ කොටස බලලා නැත්තම්, කරුණාකරලා මේක කියවන්න එපා. මේ කොටසට කලිං කොටස් බලලා නැත්තං මේක බලන්න හිතන්නවත් එපා. 😀

ගේම් ඔෆ් ත්‍රෝන් සිනමා පටයක් විදිහට මුල ඉඳන් නරඹන අපේ යාළුවො සිහි කල්පනාවෙන් බලා හිටියා නම් මං මේ කියන්න හදන දේ හොඳටම දන්නවා. එහෙම බැලුවෙ නැත්තං ආයෙ පාරක් බලන්නයි තියෙන්නෙ. මේ හැම දර්ශනයක්ම අනෙක් දර්ශනය එක්ක සම්බන්ධයි. හැම දෙබසක්ම වෙන්න තියෙන දෙබස් එක්ක සම්බන්ධයි. පරණ තැන් වලින් උදාහරණ ගන්න ඕනෑ තරම් පුළුවන් වුණත්, මං වැඩි ලේසියට ආසන්නම එපියෙන් උදාහරණ ගන්නම්.

ජොන් සහ සන්සා ට සර්සි ගෙන් ලියුමක් ලැබෙනවා. ඒක කියවලා සර්සි  පිළිබඳව එයාලා කතා කරන්න පටන් ගන්නවා . ඒ දර්ශනය කට් වෙන්නෙ සර්සිට. සෑම් සහ ගිලී ඩ්‍රැගන්ස්ටෝන් වල වැදගත්කම ගැන කතා කරනවා. ඉන්පස්සෙ සෑම් සිටිඩෙල් වල හිස් කෑම බඳුන් එකතු කරනවා. මේ වෙලාවෙ සෑම් ජෝරා මුණ ගැහෙනවා. එතැන වෙන දෙබස ඔබට මතකද? ජෝරා අහනවා, “ රැජිණ ඩ්‍රැගන්ස්ටෝන් ආවාද?“ කියලා. එතැනින් අනතුරුව අපිට පෙන්වන්නෙ ඩ්‍රැගන්ස්ටෝන් කරා ළං වෙන රැජිණ. හරි හරි.. එඩිට් එකක් කරද්දි එහෙම තමයි. කිරි හොදියි බෝල්ට් ඇණයි වගේ තැනින් තැනින් ඔබන්නෙ නෑනෙ. ඉතිං ඇයි මං මේක මේ හැටි කියන්නෙ? ඒ මේ වගේම වැදගත් තව තැනක් මේ එපියෙ තිබ්බ නිසා. ඒ තමයි සන්සා සහ බ්‍රියන් ගෙ කතාව

සන්සා සහ බ්‍රියෙන් දෙදෙනා පසු පස හැරී පහළින් ගමන් කරන, පීටර් බේලිෂ් ගැන කතා කරන්න පටන් ගන්නවා. ඔහු සන්සාට මානසික වදයක් බව බ්‍රියන්ට දැනිලා තියෙන්නෙ. එහෙව් කොටත් ඔහු තවමත් වින්ටර්ෆෙල් හි විසීම බ්‍රියන්ට ගැටලුවක්. ඒ නිසා ඒ ප්‍රශ්නය ඇය සන්සාගෙන් අහන්න පෙළඹෙනවා. සන්සා ඇයට පහදලා දෙනවා ඔහුව පිටමං කරන්න බැරි හේතුව. ඒ වගේම මේ වෙලාවෙ ලිට්ල්ෆින්ගර් එහෙම නැත්තං පීටර් බේලිෂ් උතුරු මිනිස්සුන්ට පේන මානෙ ඉඳීම හොඳයි කියන කරුණත් සන්සා විශ්වාස කරනවා ඇති කියලා හිතන්න පුළුවන්. පීටර් සන්සාට තමන් ඇයගෙ මිතුරෙක් කියලා පෙන්වන්න හැදුවත්, සන්සා හොඳටම දන්නවා ඔහු බල ලෝබය නිසා යම් අකටයුත්තක් කළ හැකි බව, ඒ නිසා සතුරා ළඟින් තබා ගන්නයි ඇය හදන්නෙ. ඒ වගේම ඈ වෘක ධේනුවක් තමන්ගෙ පැටියා රකිනවා වගේ ජෝන් රැකගන්න හදන ගතියකුත් තියෙනවා. ඒත් ඇගේ හිත කොහොම වෙනස් වෙයිද දන්නෙ නෑ. දැනට සන්සාගෙන් ජෝන්ට අනතුරක් නෑ. ඒ වගේම පීටර්ට සන්සා රවට්ටන්නත් බෑ. මේ කතාවෙ ලස්සනම කොටස ඒක නෙවෙයි. ඔහුට අවශ්‍ය මොනා වෙන්න පුළුවන්ද කියලා බ්‍රියන් සන්සාගෙන් අහන වෙලේ , සන්සා පිළිතුරු දෙනවා.. ඔහුට අවශ්‍ය කුමක්ද කියලා තමන් දන්න බව.  මෙතනින් දර්ශනය මාරු වෙන්නෙ, ආර්යාට.. ඇය පාලු කැලෑබද පාරක ගමන් කරනවා. ඒ පාර පුරා දකින්නට ලැබෙන්නෙ ශරත් සෘතුවේ දර්ශන. ඒ කියන්නෙ, ශීත කාලය ළඟ බව. ඇයට ඇහෙනවා ලැනිස්ටර් සෙබළුන්ගෙ ගායනාවක්. මෙය හුදෙක් දුරු පළාතක සේවයේ යෙදී සිටින සෙබලුන් තමන්ගෙ අඹුවන් සිහි වී ගයන ගීයක්ම නෙමෙයි. ඒ වගේම එඩ් ශ්‍රීන් වගේ ග්‍රැමී දිනපු කෙනෙක් මේ දර්ශනයට දාලා එක් අතකට අධ්‍යක්ෂක ප්‍රේක්ෂකයා නොමඟ යවනවා.

ආර්යා ඔවුන් ළඟට ඇවිත් මුලින්ම ඔවුන්ගෙ ආයුධ තිබෙන තැන් පරික්ෂා කරන්නෙ. ඒ වගේම ඔවුන් හිඳ සිටින  ආකාරයත් ඈ සටහන් කරගනිමින් තමා ඉඳගන්නෙ. ඈ මේ ලැනිස්ටර් සෙබලුන්ගෙ දෙබස් නිසා යම් චකිතයකින් ඉන්නෙ. ඇයට ඔවුන්ගෙ අසරණ බව දැනෙනවා. ඒ වගේම, ඔවුන් කියන දෙයක් නිසා ඇයට බොහෝ දේවල් මතක් වෙන්න ඇති. කියලා හිතන්න පුළුවන්. අපි ස්ට්‍රේන්ජර් ට ගෞරව කළොත් ඔහු අපට කරුණාව දක්වාවි. එක් සෙබලෙක් කියනවා. මොකක් වෙන්න පුළුවන්ද එහි තේරුම.

දෙවියන් හත් දෙනා අදහන ඔවුන්ගෙ එක් දෙවියෙක් තමයි ආගන්තුකයා. දෙවිවරු හත්දෙනා කැප කරන්නෙ, ගැහැණු තුනක්.. පිරිමි තුනක් හා නොදන්නා ලිංගිකයෙකුට. මව, මැහැල්ල, වෛශ්‍යාව, පියා , කම්මල්කරු , රණශූරයා  තමයි අනෙක් දෙවිවරු. ඉතිං ඔවුන් බයම ආගන්තුකයාට. ඒ නිසා ඔවුන් ආගන්තුකයාට සලකනවා. ෆ්‍රේ ආගන්තුකයා මරා දැමුවා. ඒ පලිය ආර්යා අරගත්තා. ඒ වගේම ඈ හවුන්ඩ් එක්ක ඉද්දි, හවුන්ඩ් තමන්ට ආගන්තුකයන් විදිහට සැලකූ දුවෙක්ට හා පියෙක්ට ද්‍රෝහි වුණා. එය දැන දැනම ආර්යාට නිහඬව ඉන්න වුණා. මේ හැම දේම ආර්යාට මතක් වුණා. ඒ වගේම, ආර්යාගෙ බලාපොරොත්තුව වුණේ මෙයින් කාගෙ හරි මූණක් දවටගෙන කිංන්ග්ස් ලෑන්ඩිං යන්නට නම්, ඒ පිළිබඳවත් ආර්යා දෙවරක් හිතන්නට මේ දෙබසින් පෙළඹුනා. එයට තවත් උදව්වක් වුණේ මේ මිනිස්සු යුද්ධය ගැන දරන ආකල්පය. ඔවුන් විශ්වාස කරනවා මේ යුද්ධ තමාට නොවැදගත් බව.

කොහොම නමුත් සන්සාගෙ සහ බ්‍රියෙන්ගෙ දර්ශනයෙන්  අනතුරුව මේ දර්ශනයට දර්ශනය මාරු වීමේ වැදගත් කම, සන්සා හා ලිට්ල් ෆින්ගර් අතර යම් දෙයක් ඇති වීමට හෝ සිදු වීමට නියමිත නම්, එයට ආර්යා ස්ටාර්ක් ගේ යම් සම්බන්ධයක් ඇති බව වක්‍රව පෙන්වීම නේද? එය එහෙම නොවෙන බව තර්ක කරන්න කාටවත්ම බැරි ඇයි දන්නවාද? ඉන්පස්සෙ බැනර් නැති සහෝදරයන්ගෙ කණ්ඩායම දිහාට නිසා. ඒ අය යන්නෙ හිස් වුණ ගෙදරකට. ඒ ගෙදර හිස් කළේ හවුන්ඩ්.  ඒ දුප්පත් තාත්තාව මරණීය ලෙස තුවාල කරලා. බලන්න කලින් දෙබස, ලස්සනට පස්සෙ දර්ශනය එක්ක මාත්තු කරන අපූරුව. තමන්ගෙ වැඩේ නිසා පසු තැවෙන,  කෙනෙක් විදිහට පස්සෙ හවුන්ඩ් ඒ ඇට සැකිලි වලලා දානවා.  මේ දර්ශන කීපයම එකිනෙකට සම්බන්ධයි.

ආර්යා ස්ටාර්ක් අතින් ලිට්ල් ෆින්ගර් මැරෙයි කියලා මට පුංචි ඉඟියක් දෙන්න පුළුවන්. ඒක ස්පොයිල් කිරීමක් හෝ එයින් දැකපු දෙයක් නෙවෙයි. එය කාරණා සහිතව කියන්න පුළුවන්. මට හිතෙන්නෙම අර අපි සන්සා ගෙ හඬින් අවසාන ප්‍රමෝට් ට්‍රේලරේදි එක මොහොතක බය වුණා නේද? ඒ හැබෑවටම සන්සා කියන දෙයක්ද? නැත්නම්, සන්සාගෙ මුහුණ ගත්තු ආර්යා කියන දෙයක්ද? ඇය ලිට්ල් ෆින්ගර් ව මරා දමන්න ඉස්සර ෆ්‍රේ නිවසෙදි කළා වගේ පරණ දෙබස් ටිකක් කියවනවා වෙන්න පුළුවන් කියලා මට දැනෙනවා. ඉස්සරහට බලමුකො.

දැන් සූදානම් වෙන්නෙ මේ විවරණය තවත් පැත්තකට ගෙනියන්නයි. ඒ තමයි වෙස්ටරෝස් නුවර සිංහාසන වල තියෙන අරුම පුදුම බව. අපි දැනට දැකලා තියෙන ප්‍රධානම සිංහාසනය වන අයර්න් ත්‍රෝන් එක හදලා තියෙන්නෙ, කඩු වලින්. මේ කඩු එගොන් තමා විසින් පරාජය කළ හතුරන්ගෙන් රැගෙන ඇවිත් එයින් මේ සිංහාසනය හැදවූ බව කියනවා. සිංහාසනයම ආයුධ සංචිතයක්.  අපි ඩැගන්ස්ටෝන් දිහාට හැරෙමු. ඒ සිංහානය සදා ඇත්තේ ඩ්‍රැගන් ග්ලාස් වලින් බව, දුටු මතින් පේනවා. ඩ්‍රැගන්ග්ලාස් කියන්නෙ වෙස්ටරෝස් වලට රන් වලටත් වඩා වටින දෙයක්. වටිනම ආයුධයක්. ඉතිං එහෙම බැලුවාම ඒ සිංහාසනයත් ආයුධ සංචිතයක්. බලං ගියාම විනටර්ෆෙල් වල තමයි රජෙක් හිටියත් සිංහාසනයක් නැත්තෙ. ස්ටාර්ක් වරු අලුතෙන් රජ වුණා නෙවෙයි. රොබ් ගෙන් නැවත වරක් ස්ටාර්ක් වරු රජ වීම පටන් ගත්ත බව හැබෑව.ඒත් ඒගොන්ට පෙර වින්ටර් ෆෙල් වල FIRST MEN වෙනුවෙන් ස්ටාර්ක් වරයෙක් රජ කළා. ඉතිං කෝ මේ අයට සිංහාසනයක්. ඔවුන්ට ප්‍රධාන පුටුවක් තියෙනවා. හැබැයි ඒ සිංහාසනයක් නෙවෙයි. මට දැනෙන විදිහට නම්, වින්ටර්ෆෙල් කියන්නෙම ආයුධයක්. ඒකයි හැම වෙලේම ස්ටාර්ක් වරයෙක් වින්ටර්ෆෙල් වල ඉන්න ඕනෙ කියලා පුරා වෘතයක් ගොඩ නැගිලා තියෙන්නෙ. මම එක සැරයක් පැහැදිළි කළා, සමහරවිට වින්ටර්ෆෙල් කියන්නෙ, අසොර් අහායි දරන ගිනි ගන්නා කඩුව වෙන්න පුළුවන් කියලා. කඩුව කියන්නෙ සංකේතයක් විතරයි. අසෝර් අහායිත් සංකේතයක් විතරයි. වින්ටර්ෆෙල් ජලයෙන් පිරියම් කළා. බිඳි ගියා. සිංහයාගෙ හදවතින් පිරියම් කළා බිඳී ගියා. ඉතිරි වී ඇත්තේ බිරිඳකගේ හදවතින් පිරියම් කිරීම පමණයි නේද? ජලයෙන් පිරියම් කළේ.. ග්‍රේජොයි වරු. ග්‍රේ ජොයි කියන්නෙ මුහුදු වතුර ආශ්‍රිත පිරිසක්.  සිංහටාගෙ හදවත තමයි බෝල්ටන් වරු. මතකනෙ බෝල්ටන් වරු ලැනිස්ටර් වරුන්ගෙ සුබපැතුම් කියලා රොබ්ට පිහියෙන් ඇනපු හැටි.  ඉතිං වින්ටර්ෆෙල් හැදුවෙත් වෝල් එක හදපු බ්‍රැන්ඩන් ද බිල්ඩර් නම්, ඕක නිකම්ම තැනක් වෙන්න බෑ නේද? සමහර විට ප්‍රබලම මාලිගාව වෙන්නෙ වින්ටර්ෆෙල් වෙන්න පුළුවන්. සිංහාසනයක් නෙවෙයි.. මුලු භූමියම ජය බිමක් වෙන්න පුළුවන්.

හරි දැන් මං සූදානම් වෙන්නෙ සිංහාසන ප්‍රශ්නෙන් මිදිලා බෙහෙත් ගැන කතා කරන්න. හැබෑටම අපි දන්නවා ජෝරා ඉන්නෙ සිටිඩෙල් වල කියලා. ඒ වගේම අපි දන්නවා මේ වෙද්දි සෑම් ලයිබ්‍රියෙ තහනම් ප්‍ර දේශයට ගියා කියලා. (අනේ මන්දා හොග්වර්ඩ්ස් වගේමයි.. සෑම් හරියට හමයිනි වගේ යන්නෙ) කොහොම හරි මේ පොතක තිබිලා ඩ්‍රැගන් ග්ලාස් තියෙන කන්දක්ම හොයා ගන්න සෑම්ට පුළුවන් වෙනවා. හැබැයි ඒ පොතේ එක තැනක තව විශේෂ දෙයක් තියෙනවා. පොත ZOOM කරලා බැලුවා නම්, එය කියවන්න පුළුවන්. ඩ්‍රැගන් ග්ලාස් හඳනා නොගත් ලෙඩ රෝග සුව කිරීම උදෙසා බෙහෙතක් ලෙස භාවිතා කරනවා කියලා එහි සඳහන් වෙනවා. දැනට වෙස්ටරෝස් වරු බයම ලෙඩේ ග්‍රේස්කේල්. ජෝරාට හැඳුනෙත් එයමයි. නිකමට කල්පනා කරලා බලන්න, ග්‍රේස්කේල් හැඳුණ අපි දන්න සුව වුණ එකම කෙනා ශිරීන් විතරයි. ශිරීන් බ්‍රැතියන් හිටියෙ,ඩ්‍රැගන්ස්ටෝන් වල. ඈ සුව වුණේ ඇගේ නිවසේම තිබූ ප්‍රතිකාරයක බලයෙන්. කොහොම හරි, මේක හොයා ගන්නෙ සෑම් වෙන්නත් පුළුවන්. ගිලී වෙන්නත් පුළුවන්. සෑම්ට වඩා රෝගය ගැන උනන්දු ගිලී. ඇගේ යෙහෙළිය වුණේ ගිලී. ඔබට මතක ඇති ඔවුන් කාසල් බ්ලැක් එකේ හිටි හැටි. ශිරීන් තමයි ගිලීට අකුරු උගන්වන්න පටන් ගත්තෙ.

නමුත් මේ බෙහෙත හොයා ගත්තොත් ඔවුන් ජෝරාගෙන් එය අත්හදා බලාවි. එවිට සෑම් හා ජෝරා මිතුරු වේවි.එවිට, ඔහුගේ පියා නයිට් වොච් හී ලෝඩ් කමාන්ඩර් වූ හැටි, ඔහු මිය ගිය හැටි වගේම, බොහෝ වැදගත් දේ හුවමාරු වේවි. ජෝන්ව ඔහුගෙ පියා විශ්වාස කළ බව, ඔහු උතුරේ රජ බව, ඔහුට මහා කුණාටුව පැරදිවීමට උදව් විය යුතු බව සෑම් කියාවි. සුව වී නැවත රැජිණ වෙත යාමට ජෝරා ට හැකියාව ලැබුණොත් එය හැබෑවටම ජෝන් ගෙ පැත්තට වාසියක් වෙන්නත් ඉඩ තියෙනවා.

ඒ වගේම තියෙන අනෙක් ගැටලුව තමයි, දැන් වයිට් වෝකර්ස් ලා ළඟ යෝධයන් සිටීම. ඔවුන් සතු විශාල දුනු හී නිසා සිදුවිය හැකි විනාශය ප්‍රබල වීම. ඔවුන් ළඟ මකරුන්ට එරෙහි ආයුධයක් තිබේදැයි පවා සැක සහිතයි. ඉතින් වයිට් වෝකර් යෝධයන්ට බය වෙන්න ඕනෙ. සමහර විට වයිට් වෝකර් වරු මෙල්ල කළ හැකි දෙයක් යූරෝන් ග්‍රේෙජා්යි ගාව තියෙන්නත් පුළුවන්. ඔහු නිතරම දාන ඇක්ට් එක හැම අතින්ම  සමාන වෙන්නෙ NIGHT KING ට.

අපි ඊළඟට කතා කරන්න සූදානම් වෙන්නෙ සර්සිගෙ සහ ඩැනීගෙ සිතියම් කාමර පිළිබඳව. සර්සි සිතියම ඇන්දේ මේ ළඟදි බව පේන සලකුණු අපි කාමරය තුළ දැක්කා. තවමත් එය අඳිමින් සිටි සිත්තරාව ඇය එළියට යැව්වා. ඒත් ඩැනේරිස් සතු සිතියම නම්, අනාදිමත් කාලයක් පරණ සිතියමක් බව අපි දන්නවා. මිනිස්සු ඔය වගේ උමතු පරිමාවෙ සිතියම් හදන්නෙ ආක්‍රමණ ශීලි ආශාවක් හරි දේශාටන ආශාවක් හරි ලං වුණාම. අපි දන්නවා.. ඩැනී හෝ සර්සි කොලොම්බස් ලා නෙවී කියලා. එයාලාට ඕනෙ, තමන්ට උරුමයැයි සම්මත කරගත් භූමිය අයිති කරගන්න. මේ සිතියම් එය පිණිස නිර්මාණ වූ ඒවා.

මේ සිතියම් උඩ සහ ඒ අසල ඉන්නකොට, මේ කාන්තාවො දෙන්නටම යෝධ පෞරුෂ නිර්මාණය වෙනවා. ඒත්  සර්සි යෝධ පෞරුෂයෙන් හිටියත්, එහෙම ඉන්නෙ සුළු මොහොතයි.  එතැනට ජේමිගෙ පැමිණීම වෙනවා. ජේමි ඒ මත හිට ගත්තාම සර්සිව පෙනෙන්නෙ අඩු කෝණයකින්. ඉන්පැහැදිළි වෙන්නෙ, ජේමි ට තවමත් සර්සිට බලපෑම් කළ හැකි බවයි. සර්සිට වටිනා කියන තෑග්ගක් දුන්නොත් යූරෝ ග්‍රේජොයි හා සංධාන වීම ප්‍රතික්ෂේප කළ නොහැකියි. කෙටියෙන්ම විවාහය ප්‍රතික්ෂේප කරන්න බෑ. එයට පෙර ලැනිස්ටර් පරපුර පවත්වා ගන්න නම්, ජේමිට ඉස්සර වෙන්නම වෙනවා. ජේමි සර්සිගෙ කුසට දරුවෙක් දෙන්න ඕනෙ. හැබැයි මැගී ද ෆ්‍රොග් එදා දුන්න අනාවැකිය සැබෑවක් නම්, සර්සිට තවත් ජීවත් වෙන දරුවෙක් හදන්න බෑ. ඒ නිසාම ජේමිගෙ ප්‍රබල කම මතු වෙන්නෙ වෙන තැනකදි වෙන්න පුළුවන්. HOUSE OF UNDIYING හී දී ඩැනේරිස් දැකපු දර්ශනයේ වගේ, අලු වලින්ද හිමෙන්ද වැසුණු ගිනි ගෙන දැවී  ගරා වැටුණු ත්‍රෝන් රූම් එක ජේමිගෙ නිර්මාණයක්ද කියන්න අපි තවම දන්නෙ නෑ. මෑඩ් කිං ව මැරුවා වගේ.. ඔහු තවත් මරණයක් කරන්න ඉඩක් නැත්තෙ නෑ..

ඩැනී ගැන කතා කරනවා නම් ඇයට තියෙන්නෙත් යෝධ හෙවනැල්ලක්. ප්‍රමාණයෙන් කුඩා කාන්තාවක් වුණත් සිතියම අසල ඇයව අපට විශාල කෝණයකින් පෙනෙනවා. හැබැයි කතාවෙ රූප රාමුවෙ මෙතැන අපූරු විශේෂයක් කරනවා. ඒ තමයි සිතියම් කාමරේ මුහුණ ලා ඇති මහා කවුලු තුන. මේ කවුලු තුනෙන් මැද කවුලුව ආවරණය වෙන්න ඩැනී සිටගෙන ඉන්නවා. දෙවැනි කවුළුව ආවරණය වෙන්න ටිරියන් හිටගෙන ඉන්නවා. තෙවැනි කවුලුව හිස්ව හුළං හමමින් තියෙනවා. මෙයින් සංකේතවත් වන්නේ මේ කවුලුව කාගෙන් හෝ ආවරණය විය යුතු බවද? මකරාට ඔලු තුනක් තියනවා. ඉතින් ඒ අනෙක් මකරා ජොන් ද? එය අපිට නිවැරදිව දැනගන්නට ලැබේවි ඉදිරියේදි.

දැන් මං යොමු වෙන්නෙ වින්ටර්ෆෙල් පැත්තට. එහි සභාවෙදි කාන්තාවන්ට පවා අවි පුහුණුව ලබා දිය යුතුයි යන්නෙන්, ජෝන්  බ්‍රියන්ගෙ  හිත දිනා ගන්නවා . ඒ වගේම එයට එරෙහි වෙන අයට එරෙහි වීමෙන් ලියානා මෝමර්න්ට් හිත් කීපයක් දිනා ගන්නවා. තමන්ට පක්ෂ වූවාට ජෝන් හැම වෙලේම ඇයට කැමතියි. ඈ ඔහුට ආර්යා සිහිපත් කරනවා වගේම, යටි හිතේ ඔහු බලාපොරොත්තු වෙන සැබෑ සොයුරිය සිහිපත් කරනවා. ඔහුගේම සොයුරිය රාජ සභාවක් ඉස්සරහ රජ වු තමන්ටම විරුද්ධ වෙද්දි, පිට දේශයක සිටින කුඩා දැරියක් ඔහුට පක්ෂ වීම ගැන ඔහු සතුටින් මෙන්ම කණගාටුවෙන් ඉන්නවා වෙන්න පුළුවන්. ඒ වගේම ලියානා මෝමන්ට් ව අගයන තව කෙනෙක් තමයි, සර් ඩාවොස්. ඔහුට මේ කුඩා දැරිය හරහා ශිරීන් කුමරිය මතක් වෙනවා. කුමරිය එදා සටන් හරඹ දැන හිටියා නම්, බේරී පලා යන බව ඔහු විශ්වාස කරනවා. එනිසා මේ කුඩා දැරියගෙ නිර්භය භාවයට ඔහු ඉතාම ආශා කරනවා කිව්වොත් තමයි වඩාත්ම නිවැරදි.

මෙයින් අපිට පැහැදිළි වෙන තවත් පුංචි කාරණාවක් තියෙනවා. බ්‍රියන් , ලියානා මෝර්මන්ට් ගැන කැමැත්තකින් පසුවෙනවා. ජෝන් නැති දාක සන්සාට වෙනස් යමක් කරන්න හිතුණොත්, එදාටත් ලියානා ජෝන් වෙනුවෙන් කතා කරනවා. හැබැයි ලියානාව නතර කරන්න සන්සා බ්‍රියන් ට පැවරුවොත් බ්‍රියන් ඒ ගැන දෙවරක් හිතනවා. ඇය මේ කුඩා ආර්යාව ගේ ශක්තිය සහ ජවය විශ්වාස කරනවා. ආර්යා වින්ටර්ෆෙල් ආවොත් සන්සා යම් නපුරක් කර සිහසුන අත්පත් කර ගැනිමට සැරසෙනවා නම්, එය ව්‍යර්ථ වේවි.  මම කලිනුත් මතක් කළ තනි වෘකයා මිය යන දෙබස, නෙඩ් පැවසුවේ ආර්යාටයි. ඒ ආර්යා සන්සාට අනතුරක් කරාවි යන බියට. එදා සන්සාට අනතුරක් නොකරන්නට ඈ පොරොන්දු වුණා. හැබැයි සන්සා අසාධාරණ වූවොත් එය නොකර ඉන්න හේතුවක් තිබේ නම්, ඒ පියාගෙ කියමන ම පමණයි. සන්සා එලෙස ද්‍රෝහි වේවි කියා සිතිය හැකි මට්ටමක් දැනට කතාව තුළ  යන්තමින් පෙනෙනවා. ඒත් තව කොටස් 12 ක් පමණක් ඉදිරියට ඇති කතාවක මේ PLOT LINE එක සංවර්ධනය කරන්න වෙහෙස වේවි කියලා හිතන්න ටිකක් අමාරුයි.

හැබැයි ඩැනේරිස් ජෝන් සංධානයට ආර්යා කොහොම මතයක් දරයිද කියන්නත් ටිකක් අමාරුයි. මොකද NO ONE වරු, ටාගේරියන් වරු ඇතුළු මකර වංශාධිපති සියල්ලන්ම සලකන්නෙ, වහල් ශ්‍රමය සූරාකන අය හැටියට. ඒ ගැන කතාව දිග දරට ඇදෙද්දි බලමු.

දැන් සූදානම් වෙන්නෙ මේ විචාරයේ අවසාන කොටසට ළඟා වෙන්න. මේ අවසාන කොටසෙ අරමුණ ටයිවින් සර්සි සහ සර්සි සන්සා ගැන කතා කිරීම. සර්සි තමන්ගෙ සහෝදරයා වෙන ජේමිට කියනවා. තමන් පියාගෙන් බොහෝ දේවල් ඉගෙන ගත් බව. සන්සා තමන්ගෙ සහෝදරයාට කියනවා (ටෙක්නිකලි මස්සිනා තමා) තමන් සර්සි ගෙන් බොහොම දේ ඉගෙන ගත් බව. එහෙනම් තවමත් උතුරේත් දකුණෙත් හොල්මං කරන්නෙ, මල ගිය ටයිවින්ගෙ ආරේ හෙවනැළි නේද? සන්සා කියන්නෙත් නීත්‍යානුකූලවම ලැනිස්ටර් පරපුරට කාලයක් අයත්ව හිටි කෙනෙක්. ඉතිං ඇයට ඒ සිතුවිලි තියෙන්න පුළුවන්. හැබැයි අය හදවතින්ම ස්ටාර්ක් කෙනෙක්. ඇය අවසානයේ තමන්ගෙ පවුල තෝර ගන්නවා. මට ඒ ගැන විශ්වාසයක් තියෙනවා. ඇය රැජිණක් වීමට ඉතාම ආශා කළා. ඒ නිසාම ඇයට දුකි විඳින්න වුණා. අතින් අතට යන්න වුණා. ජොෆ්‍රිගෙන්, ටිරියන්ට ( ඒ අතරෙ ලෝරස්ට දෙන බවට) ටිරියන්ගෙන් බේලිෂ්ට, බේලිෂ් විසින් රැම්සිට, රැම්සිගෙන් පසු නැවත බේලිෂ්ට ආදී ලෙස ඇගෙ ජීවිතය මාරු වුණා. පුදුමය කියන්නෙ, ඇයි මේ තරම් වේදනා විඳලත් ඇය තවමත්, සහෝදරයාට අවනත නොවන්නෙ කියන කරුණයි. ජීවිතේ ඇයට දැනට සිටින වටිනම කෙනා තමන්ගෙ සහෝදරයා. සමහරවිට ඈ අවැසි මොහොතේදි ඔහු වෙනුවෙන් පෙනී හිටිවි. රොමැන්ටික් සම්බන්ධයක් නැතිවාට, ඇය ඔහුව රකින බවක් පෙනෙන්න නැතිවම නෙවෙයි. ඇය ඔහුට ද්‍රෝහි වෙනවා නම්, එයින් බොහෝ කොටසකට වග කිව යුත්තේ පීටර් බේලිෂ්. ආර්යා නිකං ඉන්න එකක් නෑ කියලා හිතමු.

එහෙම නම් මේ සතියට ලියපු  තුන් වැනි විචාරයත් ඉවර කළා. අඩු පාඩු තියෙනවා නම්, එකතු කළ යුතු කොටස් තියෙනවා නම්, අහන්න ගැටලු තියෙනවා නම්, comment විදිහට යොමු කරන්න. ඒ හැම comment එකකටම පිළිතුරු දීලා Q &A session එකක් කරන්න බැරි කමක් නෑ. එහෙමනම් සඳුදා උදේ පාන්දරම game of throne බලන්න අමතක කරන්න එපා. කලින් ලියපු ලිපිය වන preview brake down එක කියවන්නත් අමතක කරන්න එපා. මේ දෙවැනි එපිසෝඩ් එක නම් කරලා තියෙන්නෙ ඩැනී ට කියන සුරතල් නමින්. Stromborn .  රෙගාර් ඉපදෙන වෙලාවෙ සමර්හෝල් එක ගිනි අරන් දහස් ගාණක් රජුත් එක්කම මැරුණා වගේ, ඩැනේරිස් ඉපදෙන්නෙත් පහ කුණාටුවක. ටාගේරියන් විශේෂ දරුවන්ගෙ උපත් හරි අමුතුයි.  ජෝන් වුණත් ටාගේරියන් කෙනෙක්. ඔහුගෙ උපත පවා වෙනස්.  ඉතිං මේ කුණාටුවේ උපන් කතාව මොකක්ද කියලා අපි බලමු. මේ කතා කරන්නෙ ඩැනී ගැන විතරක්ම නෙවෙයි. එහි ඇති යම් විශේෂයක් ගැන. ඉතින් මේ stormborn  තිර කතාව ලියන්නෙ Bryan Cogman විසින් . ඔහු දැනට විකාශය වී ඇති කොටස් හැට එකෙන් තිර පිටපත් ලියා ඇත්තේ 9 කට පමණයි. ඒ නමය විදිහට,

පළමු සීසන් එකේ “Cripples, Bastards, and Broken Things” කියන සිව්වන එපිය

දෙවැනි සීසන් එකේ “What Is Dead May Never Die” කියන තෙවැනි එපිය

තුන් වැනි සීසන් එකේ  “Kissed by Fire” කියන පස්වැනි එපිය

හතරවැනි සීසන් එකේ “Oathkeeper” සහ “The Laws of Gods and Men” කියන හතරවෙනි හය වෙනි එපි

පස්වැනි සීසන් එකේ     “Kill the Boy” සහ “Unbowed, Unbent, Unbroken” යන පස්වැනි හයවැනි එපි මෙන්ම

හයවැනි සීසන් එකේ “Blood of My Blood” සහ “The Broken Man” යන හය වැනි හත් වෙනි එපි

හඳුන්වන්න පුළුවන්. ඉතින් ඒ හැම කතාවක්ම කලකලා බැලුවාම ඔහු ලියන විදිහ තියෙනවා සාහිත්‍යවිලාශයක්. දේවල් හංගලා පෙන්වන ස්වභාවයක්. ඒ වගේම, ඔහු ඉඟි ලබා දෙන්නෙත් ඉතාම සියුම්ව.  මෙම එපිසෝඩ් එකේ අධ්‍යක්ෂණය කරන්නෙ Mark Mylod විසින්. ඔහු ගේම් ඔෆ් ත්‍රෝන් කණ්ඩායමේ අධ්‍යක්ෂණයට එකතු වෙන්නෙ ගිය වසරෙදි. හය වැනි සීසන් එකේ, හත් වැනි සහ අට වැනි එපි සෝඩ් වන The Broken Man සහ No one ඔහුගෙ අධ්‍යක්ෂණයන්. මෙවරත් හය වැන්නෙ ගේම ඔහුට දෙවැනි එපිය සහ තුන්වැනි එපිය ආදි ලෙස එපි දෙකක් නිර්මාණය කරන්න අවස්ථාව ලැබෙන්නෙ ඔහුගෙ දක්ෂ කම නිසාම වෙන්න ඇති. කොහොම වුණත් game of thron වල බ්‍රයන්ගෙ තිර කතාවක් මාර්ක් අධ්‍යක්ෂණය කරන දෙවැනි වතාව තමා මේක. ඉතින් ඔහු ඉතාම හොඳට කරයි කියලා බලා පොරොත්තු වෙනවා.

වචන 2500 කට එහා ලිව්වා. එහෙමනම්, හැමෝටම වෙස්ටරෝස් හී තමන් සහය දක්වන පක්ෂය ජයග්‍රහණය කරවීමට හැකි වෙන ලස්සන එපිසෝඩ් එකක් ලැබේවා.

තරිඳු සහෝගෙ වීඩියෝ කුප්පි නරඹන අතරෙ, රොයිලි අයියාගෙ සබ් ටයිටල් බලන්නත් අමතක කරන්න එපා.. වෙනදා වගේම ලිපියට ලස්සන පින්තූර දැම්මෙ තිසර මල්ලි.. ආයෙමත් කියන්නෙ.. ප්‍රශ්න සහ අඩු පාඩු තියේ නම්, ඒ හැම දේම කියන්න විවෘතයි. පුශ්න අහන්න. උත්තර හොයලා දෙන්නම්

වලාර් මොගුලිස්

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
නෙරංජි සුලක්ඛනා (32 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


නෙරංජි සුලක්ඛනා

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

neranji has 32 posts and counting.See all posts by neranji

20 thoughts on “හතේ පළවැන්න ගැඹුරෙන් කියැවීම හෙවත් Season 7 First episode Hard review

  • July 29, 2017 at 7:27 PM
    Permalink

    E laga lipiya kavadda..

  • July 26, 2017 at 12:01 PM
    Permalink

    වලාර් ඩොහාරිස්….

  • July 26, 2017 at 8:52 AM
    Permalink

    I enjoyed it, thanks a lot 🙂

  • July 25, 2017 at 7:44 PM
    Permalink

    Another great work.Thanx sis.

  • July 25, 2017 at 3:45 PM
    Permalink

    niyamai

  • July 25, 2017 at 11:43 AM
    Permalink

    Godak mahansiwela watina lipiyakin apiwa danuwath kalata goda thanks sis..jayen jaya…

  • July 25, 2017 at 6:07 AM
    Permalink

    ස්තූතියි………………

  • July 25, 2017 at 3:50 AM
    Permalink

    arya munak daganne maruna kenekge neda /etakota sansa marenawada

  • July 24, 2017 at 7:19 PM
    Permalink

    lone wolf seen eka ned aryata kiyanne mona season eke ki weni epiyeda?? :O

  • July 24, 2017 at 2:00 PM
    Permalink

    බොහොම ස්තූතියි

  • July 24, 2017 at 12:16 PM
    Permalink

    pattaaaa

  • July 24, 2017 at 10:48 AM
    Permalink

    ආර්ය විසින් සන්සගේ මුහුණ පාවිච්චි කරනවානම් පීටර්ව මරන්ඩ එකෙන් කියවෙන්නෙ ඒ වෙනකොට සන්ස ජීවතුන් අතර නැ කියන එකද ?

  • July 24, 2017 at 9:01 AM
    Permalink

    වලාර් ඩොහාරිස්….

  • July 24, 2017 at 8:23 AM
    Permalink

    මෙච්චර ලියලත් කමෙන්ට් එකක් නොදැම්මොත් අඩුවක්

  • July 23, 2017 at 11:28 PM
    Permalink

    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.

  • July 23, 2017 at 8:13 PM
    Permalink

    Sansage muna ganna nm sansa merenna one nedda..

  • July 23, 2017 at 6:21 PM
    Permalink

    Sansawa arya maraida

  • July 23, 2017 at 5:12 PM
    Permalink

    දැන් එතකොට ආර්යා කොහොමද සන්සගෙ මූනක් දා ගන්නේ?

  • July 23, 2017 at 2:58 PM
    Permalink

    අක්කේ වැලෙරියන් වෙපන් සහ ඩ්‍රැගන් ග්ලාස් අතර සම්බන්ධයක් තියෙන බවක් අහන්න ලැබුනා..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *