සීසන් 7 පළවෙනි එපිය බැලුවාට පස්සෙ…

විචාරයක් ලියන්න ඕනෙ නැති තරමටම විචාර හැම තැනම තියෙනවා. ඒත් ඉතිං තම තමන්ගෙ සත දෙක එකතු කරලා තියෙන එක හොඳ වැඩක් නිසා ලියන්නම්. පළවෙනි කොටස බලලා නැති කිසි කෙනෙක් මේ ලිපිය කියවන්න එපා. හැමතැනම කතාවෙ spoilers තියෙන නිසා අනාවැකි පළ කරලා තේරුමකුත් නෑ. ඒ නිසා විචාරයක් විදිහට.. කොටස් වල යම් පැහැදිළි කිරීමක් කරන්නම්.

කතාව ඇරඹෙන්නෙ ආර්යාගෙන්. ඔබට මතක නම් රතු විවාහය සිදුවූ මොහොත.. ඒ මොහොතෙත් ආර්යා හිටියෙ ෆ්‍රේ ගෙ නිවසෙ දොරකොඩ. වෘක කූඩුව අසල. ආර්යාගෙ ඇස් පණාපිට වෘකයා ( රොබ් ස්ටාර්ක් ට අයත් ග්‍රේ වින්ඩ්) ඊතල පොවා කූඩුව තුළදීම මරාදැම්මා. පස්සෙ රොබ් ගෙ හිස වෘකයාගෙ සිරුරෙ ගහලා නගර වටේ ගෙනිච්චා. ආර්යා මේ වෛරය කොයි තරම් කල් තියා ගත්තාද කියලා අපි දන්නවා.  එහෙත් ආර්යා වෝල්ඩර් ෆ්‍රේ කියලා නිතරම නිඳාගන්නකොට සඳහන් කළ නම් ලැයිස්තුවෙ තිබ්බ ෆ්‍රේගෙ නම, නිකමටම නමක් විතරක් නෙවෙයි.. මුළු වංශයක් කියලා දැන් අපි දන්නවා.  බ්‍රැන් සුළං මෝල ඇතුළෙදි  හෝඩෝර්ට රිකොන්ට සහ වනචාරි කාන්තාවට කියූ ජනකතාව ඔබට මතක නම්, ඒ විදිහටමයි ෆ්‍රේ විසින් රොබ්, කැටලින් සහ අනෙකුත් ආරාධිතයන් රොබ් ගේ ගැබිණි  බිරිඳ එක්කම මරා දමන්නෙ. ඉතින් සමාන පළිගැනීමක් කලාත්මකව කිරීමට ආර්යා අවස්ථාව හදා ගත්තා. කොහොම වුණත් කතාව ආරම්භයේදිම කට්ටියගෙ සිත් ඈ හොරා ගත්තා.

මෙහිදී උතුර සියල්ල මතක තබා ගන්න බව, ඇය සඳහන් කරනවා. North Remembers කියන වචනයෙ හුදු වචනයක් නොවෙන බව එයින් පැහැදිළියි. එය අණකට කීකරු වීමක්. උතුර නියම වශයෙන් පාලනය කළ යුත්තේ කවුද කියා තීරණය කිරීමක් කියන හුදු කාරණා වලින් සෑහෙන එහාට ගිය එකක්. උතුර තමන්ට කළ සියල්ලටම නැවත ඒ විදිහටම සලකන්න මතක තියා ගන්නවා. ඒ උතුරු මිනිසුන්ගෙ හැටි. හරියටම ලැන්ස්ටර් ලා ණය ගෙවනවා කියන කතන්දරයට ඒක දෙවැනි නෑ. ඒ වගේම winter came , Winter is here, Winter is coming , කියන  පද ඇතුළෙ මේ winter කියන වචනය ඔවුන්ට නිකම්ම සීත සෘතුව නොවෙයි. එය අවසානය කියන වචනය සංකේතවත් කරනවා. අවසානය ළඟා වෙනවා කියන කාරණාව තමයි, ඔවුන් තමන්ගෙ සෘතු බේදයේ එන වචන අතරෙ හංගලා එළියට දෙන්නෙ.

කතාව පුරාම ආර්යා කරපු, ලස්සනම වැඩේ දැනට මේක තමයි. ඇගේ මුහුණේ වෛරයක් නොවෙයි තිබුණෙ. පළිගැනීමේ අධිෂ්ඨානයක්. කැකෑරෙන වෛරයක එහා ගිය, නිවුණු ස්වභාවයක්. සියල්ල හිමි කරගත් කෙනෙක් ගෙ හැටියක්. අපරාධයකට දඬුවමක් දෙන්නට පැමිණි පුද්ගලයෙක් සතු ගාම්භීර බව.  ඉතිං ආර්යා හැමෝගෙම ආදරය, මිනිත්තු දෙකකින් දිනා ගත්තෙ එහෙමයි.

කතාව නියම වශයෙන් ආරම්භ කළේ ඉන්පස්සෙ. මෙවර ආරම්භක තේමා පටය තුළ අපට පෙන්වන්නෙ, Kings landing , Draganstone , Twins, Winterfell, Castle black, සහ Citidel පමණයි.  තවමත් කින්ග්ස්ලෑන්ඩිං වල තියෙන්නෙ බැරතියන් සලකුණ. ඒත් පසුව අපි දකිනවා සර්සි  ත්‍රෝන් රූම් එක පවා සිංහ ලකුණෙන් වෙනස් කර ඇති වග.  ඒ ඇයි කියලා මං පොඩ්ඩක් කිව්වානෙ.  ඒ සර්සි අයත් වන්නෙ ලැන්ස්ටර් වරුන්ට වුණත් සර්සිට කිරුළ ලැබෙන්නෙ බ්‍රැතියන් පවුලෙ සුජාත උරුමකරුවන් සියල්ල මිය ගිය නිසා. ඒ වගේම අවජාතක උරුමකරුවෙක් හෝ නැති නිසා. කවදාවත් සර්සිගෙන් පසුවට ජේමි හෝ ටිරියන් රජවෙන්නෙ නෑ. ඒත් සර්සි වෙනත් විවාහයක් කරගත්තොත් ඒ විවාහයේ දරුවෙකුට සර්සි රැජිණ නිසා, රැජිණගේ දරුවාට දෙන න්‍යායෙන් ඔටුන්න පාස් කරන්න පුළුවන්. එයින් කියවෙන්නේ නෑ සර්සි බඳින කෙනා රජ වෙන බව. රජුගෙ බිරිඳ රැජිණ වුණත්, රැජිණගෙ ස්වාමියා වල්ලභ කුමාරයෙක් පමණයි. ඒ බව දැන දැනත් යුරොන් මෙච්චර වද වෙන්නෙ මේ කිරුළ අයිතිකාරි තමන්ට නම්මා ගත්තොත්, එතනින් පස්සෙ ඔහුගෙ කෘර කම තුළින් ඔහුගෙ අවශ්‍යතාව ඉටුවෙන නිසා හැබැයි සර්සි ගෙ වෙනත් විවාහයක දරුවෙකුට වඩා බ්‍රැතියන් අවජාතකයෙක්ගෙ උරුමය කිරුළට ඉතාම වැඩියි. මේ මොහොතෙ කිරුළ වැඩියෙන්ම අයිති ගෙන්ඩ්‍රිට. ඒ වගේම  ගෙන්ඩ්‍රි කියන්නෙ අවජාතකයෙක්මද කියලා පවා අපි තවම හරියට දන්නෙ නෑ.

ඒත් හැමෝටම තියෙන ප්‍රශ්නෙ සර්සි සෙප්ට් එකේ තරු ලකුණු පවා ඉවත් කරලා සිංහ ලකුණු ඇයි ත්‍රෝන් රූම් එකට දැම්මෙ කියන කරුණයි. බ්‍රැතියන් ලකුණ යටතෙ ඉඳගෙනත් ඇයි එහෙම කරන්නෙ.

හරිම සරලයි.. සර්සිගෙ මනසෙ තියෙන්නෙ ලැනිස්ටර් වරුන්ගෙ අනාගතය. ඇය සිහින දකිනවා ඔවුන්ට රජ කම අයත් කරගන්න. ඔවුන්ගේ ලංචනය යට රාජධාණිය අයිති කරගන්න. මිනිස්සුන්ට ඒත්තු ගන්වන්න යි මේ සංකේතය ඈ භාවිතා කරන්නෙ. ඇගේ මානසික සුවයට හා උමතුවට. බ්‍රැතියන් උරුමය සරලවම මිනිස්සුන්ට අමතක කරවන්නයි ඇයට ඕනෙ. ඒ වගේම මීට කලින් එතැන තිබුණෙ බ්‍රැතියන් ලකුණක් නෙවෙයි ආගම් ලකුණක්. ඇය තමන්ගේ පවුල ආගම කරගත්ත බවට පෙන්වන සංකේතයක් තමයි සිංහ ලකුණ throne room එකට යෙදීමත

කොහොම වුණත් අනෙක් හැම දේටම වඩා දැන් වැඩියෙන් සිටිඩෙල් වටින බවත් මේ තේමා කොටස් හරහා අපිට පෙනෙනවා.

ඉන්පස්සෙ අපි දකින්නෙ ප්‍රාකාරය වෙතට බිඳෙන් බිඳ කිට්ටු වෙන white walkers හා whight සමූහය.  එයින් පේන්නෙ අවධානම බොහොම ළඟට ඉක්මනින් පැමිණෙන බව. මරණය එන්නෙ කුණාටුවත් අරගෙනමයි. වින්ටර්ෆෙල් වල රජ සභාව කතා කරන්නෙත් මේ ගැන. මෙතැනදි ආසන බෙදා ගැනීම පිළිබඳවත් පුංචි මතහුවමාරුවක් යනවා. ඒ වගේම, ආයුධ පුහුණව ගැනත් මත විමසුම් කෙරෙනවා. කොහොම වුණත් ජොන් විසින් සියල්ල තමා අවශ්‍ය විදිහට කරගන්නවා. ජොන් කියන්නෙ දක්ෂ රජෙක් බව ඉන් අපිට පැහැදිළි වෙනවා. හැබැයි එය සතුරන් නිර්මාණය කරගන්නා පිළිවෙතක් නිසා ඒ දක්ෂ කම කෙතරම් කල් පවතීද කියන ප්‍රශ්නය තියෙනවා. සන්සා සහ ජොන් අතර දැනට තියෙන්නෙ පාලනමය ගැටුමක් ම නෙවෙයි. Bossy නැගණියක් ඉන්න සහෝදරයෙකුට තියෙන සාමාන්‍ය ගැටලු පමණයි. කොහොම වුණත් කාලාන්තරයක් දකුණෙ ඉඳලා white walker ආවධානම නොදන්න සන්සාට ලොකුම ගැටලුව සර්සි කියලා පෙනීම වරදක් නෑ. ඈ සර්සිගෙන් වද වින්ද කෙනෙක්. අපි එය දන්නවා. ඒ වගේම සන්සාට යම් තරමක තර්ජනයක් වෙන තරඟකාරියක් විදිහට අපිට ලියානා මෝමර්න්ට් සලකන්න පුළුවන්. ඈ රජුට කැමතියි. ඇය ඔහුට සැමවිටම උදව් සපයනවා. රජු වෙනුවෙන් පෙනී හිටිනවා. උතුරු සභාව පුංචි ගෑණු දරුවාට යම් අවනත බවක් තියෙනවා.

වයිට් වෝකර්ස් ලා කුණාටුවත් රැගෙන එන බව බ්‍රැන් දකින්නෙ ඔහු ගෙ විෂන් එකක, අපිට කාසල් බ්ලැක් එක වෙතට කරදරයක් නැතිව ළඟා වූ මීරා සහ බ්‍රැන් දකින්න පුළුවන් වෙනවා. ඔවුන් දෙදෙනා ගේ පැමිණීම වෙස්ටරෝස් වලට ස්ටාර්ක් පවුලට විශාල බලපෑමක් එල්ල කරයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්.. බ්‍රැන් ධ්‍යානයෙන් දේවල් දකිද්දි සෑම් දේවල් දකින්න්නෙ අධ්‍යනයෙන්.

සිටිඩෙල් වල දි සෑම් ගෙ පළවෙනි සොයා ගැනීම තමයි ඩ්‍රැගන් ග්ලාස් ඩ්‍රැගන්ස්ටෝන් වල තියෙනවා කියන දෙය. අනෙක් කරුණ සිටිඩෙල් වල දැන් ජෝරා ත් ඉන්නවා. අන්ධකාරෙම ඉඳලා යම් කිසි විශාද තත්වයකට පත් වෙච්ච ගතියක් තමයි ඔහුගෙන් පෙනෙන්නෙ. සෑම් යතුර හොරකම් කරපු විදිහට, පොත් කීපයකින් නවතින එකක් නෑ වගේ. සෑම් රේගාර් සහ ලියානා හා සම්බන්ධ දෙයක් හොයා ගනීවි කියලා හුඟක් අය සැක කරනවා. බලමු එහෙම වෙයිද කියලා.

අපි කින්ග්ස් ලෑන්ඩිං දිහාට ගියොත්, සර්සි තනිකරම දැන් ඉන්නෙ චකිතයෙන් බවයි පේන්නෙ. ඇය හැම පැත්තෙන්ම සතුරන්ගෙන් වට කරගෙන. ජේමි උත්සාහ කරන්නෙ ටෝමන් ගැන කතා කරන්න.ඒත් එය සර්සි මඟ හරිනවා. ඈ ජේමි ට පවා තමා ඔහුට ඉහළින් ඉන්න බවක් පෙන්වන්නෙ. ඒ වගේම යූරොන්ගෙ සෑම දෙබසක්ම ජෙමී ට කරන අපහාසයක්. එය වලක්වන්න පවා සර්සි උත්සාහ කරන්නෙ නෑ. ජේමිට සෑහෙන තරඟකරුවෙක් විදිහටයි යූරොන් පෙනී ඉන්නෙ. ඔහු තෑගි අරන් ඉක්මනින්ම එයි වගේ.

ඔය අත‍‍රෙ, ලැන්ස්ටර් සෙබලු හා ආර්යාගෙ මුණ ගැහීමෙන් සොල්දාදුවොත් මිනිස්සු කියන කරුණ පෙන්වන්න පුංචි උත්සාහයක් කරනවා. ඒ වගේම ආර්යාගෙ ගමන මඟ නතර කරන්නෙත් යම් කිසි හමුවක් ලබා දෙන්න වෙන්නත් පුළුවන්. ජෝර්ජ් ආර් ආර් මාටින් කියන්නෙ යුධ විරෝධියෙක්. ඔහු හැම සොල්දාදුවෙක් ගැනම යහපත් සිතින් බලනවා. මේ වගේ කොටසක් දාන්න ඇත්තෙ ඒකයි. දුවලා වයසට ගියාම තාත්තලාව බලා ගන්නවා. පුතාලා අනුන්ගෙ යුද්ධයක මැරිලා යනවා,  අපිට කපුටො ගෙවල් වල තොරතුරු අරන් එන්නෙ නෑ.. වගේ වචන වලින් ඔවුන් යුද්ධයට අකමැති බව පෙන්වනවා.

මේ වගේම වින්ටර්ෆෙල් වල ලිට්ල් ෆින්ගර් සන්සාව තමන්ගෙ පැත්තට නම්මා ගන්න උත්සාහයක් කරනවා.ඒක සාර්ථක වෙන්නෙ   නෑ. පොඩ් ටිකෙන් ටික සටන් කරන්න ඉගෙන ගැනීමත්, එක් අතකට ඔහුත් වැදගත් කෙනෙක් වෙමින් හිටින බව පෙන්වනවා. කොහොම වුණත් පොඩ්රික් පේන් ලේසි කොල්ලෙක් නෙවී. මතකනෙ බ්ලැක් වෝටර් බේ සටන

ඔය අස්සෙ අපි දැක්කා ක්ලේගන් හේවත් හවුන්ඩ් ලොක්කාගෙත් මානුෂීය පැතිකඩවල්. මතකනෙ ආර්යා සහ එයාට කන්න දීපු තාත්තයි දුවයි. ඒ අය මැරෙනවා කියලා, මෙයාලා ඒ අයගෙ රීදී අරන් පැනලා යන අතරෙ තාත්තාටත් තුවාල කරලානෙ ගියෙ. කොහොම වුණත්, ඒ තාත්තයි දුවයි දෙන්නා අමාරුවෙන් නිවස තුළට ගිහිං තියෙනවා. අන්තිමේ ඔවුන් නිවස තුළම මිය ඇදිලා. හවුන්ඩ් ඒ ගැන වේදනාවක් පෙන්වන බව, අපිට පෙනෙන්නෙ ඔහු මිනී වල්ලන එකෙන්. ඒ වගේම ඔහුට ගිනි දෙවියන් කතා කරනවා. ඔහු හැමදාම ඉතා වටින චරිතයක්ව හිටියා. ඉදිරියටත් එහෙම්ම තමා.

ඔය අස්සෙ අපේ රැජිණත් තමන් උපන් බිමට, ටාගේරියන් නිජබිමට එනවා. විජය කුමාරයා ආවා වගේ තමයි ඉතිං. හරි රොමැන්ටික් ගොඩ බැහීමක් ඒක. අපි මුල්වතාවට තමයි, ඩ්‍රැගන්ස්ටෝන් පිටතින් හරියට දකින්නෙ. ස්ටැනිස්  ඩ්‍රැගන්ස්ටෝන් වල ඉද්දි, අපි මේ තරම් ඩීටේල් දැක්කෙ නෑ. සිතියම් කාමරය, මැලිසැන්ඩ්‍රෙ ගෙ, ස්ටැනිස් ආර්යාවගෙ, ශිරීන්ගෙ කාමර ඇරුණාම අපි දැක්කෙ, සිර ගෙවල් විතරයි. පහුගිය වසර විස්සකට විතර කිසි වෙනසක් නොවුණු ඩ්‍රැගන්ස්ටෝන් වල සිතියම් අංගනයේදි මේ එපිසෝඩ් එක අවසන් වෙනවා. ඊළඟට මොනා වෙයිද කියන කුකුසට දැනටම, අපිට හිතන්න පුළුවන් වෙන දේවල් එක්ක ටේලර් දෙකක්ම ඇවිත් තියෙන්නෙ..

ඒ ගැන ලියන්න බලාපොරොත්තු වෙනවා තව පැය කිහිපයකින්. පොඩි ගැටලුවකට තියෙන්නෙ, දැනටම සමහර දේවල්  spoilers ලා අතින් පිට වෙලා නිසා guess  කරන  එක හෝ එන්න තියෙන දේවල් හිතීම එච්චර වැදගත් නැති වීම. ඒ කොහොම වුණත් කුතුහලය සංනොහි‍ඳෙන අපූරු කතාවක් විදිහට තවමත් අපිට GOT ඉතිරියි.



පැය කිහිපයකින් මුණ ගැහෙමු.

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
නෙරංජි සුලක්ඛනා (32 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


නෙරංජි සුලක්ඛනා

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

neranji has 32 posts and counting.See all posts by neranji

9 thoughts on “සීසන් 7 පළවෙනි එපිය බැලුවාට පස්සෙ…

  • July 23, 2017 at 10:19 PM
    Permalink

    niyamay akke. godak diga wistharayak. e wagema GOT balana eka wenasma widiyakin balanna me lipiya godak udaw wenawa. idiriyatath me wage lipi denna.. jyawewa.!

  • July 23, 2017 at 12:27 PM
    Permalink

    නියමයි.

  • July 23, 2017 at 7:17 AM
    Permalink

    Everything before the word “but” is horse shit

  • July 22, 2017 at 11:39 PM
    Permalink

    ko akka ed sheeran gena kiyala neene

  • July 22, 2017 at 10:09 PM
    Permalink

    වින්දනාත්මක පැහැදිලි කිරීමක් .ස්තූතියි.ගොඩක් comments නොලැබුනොත් දුකක්

  • July 22, 2017 at 7:42 PM
    Permalink

    Hmmm full season ekema plot ekak net eke yannawa. Eka bohodurata hari wage

  • July 22, 2017 at 2:48 PM
    Permalink

    Thanks review ekata

  • July 22, 2017 at 2:45 PM
    Permalink

    අම්මෙ අක්කි පට්ටයි ඇ..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *