2014 වසරේදී The Hobbit’හි තෙවැන්නත් නරඹමු!!!

ඔබ දන්නා පරිදිම මේ වෙනකොටත් අධ්‍යක්ෂක Petr Jackson-ගේ The Hobbit චිත්‍රපට දෙකකම වැඩ ඉවරයි. එකක් මේ වසරේ අග එනවා. අනෙක නියමිත එන වසරේ අග භාගයට. නමුත් ඔහුත් ඇතුළු හොබිට් නිර්මාණ පිරිවර, චිත්‍රපට දෙකකින් සෑහීමට සතු‍ටු නැතිවා වාගෙයි. ඒ කියන්නේ ත්‍රිත්ව චිත්‍රපටයක් බවට මෙය පත් වෙන ලකුණු පහළ වෙලා.

මුලින්ම මේක හදන්ඩ ගියේ එක තනි චිත්‍රපටයක් හැටියට. ඒත් ඒක දෙකඩ වෙලා, – ‘An Unexpected Journey’ යනුවෙන් සහ ‘There and Back again’ – යනුවෙන් චිත්‍රපට ද්වයක් විය යුතු බවට නිර්ණය කෙරුණා. නමුත් Jackson, Warner Bros, New Line කියන එකමුතුව තවත් නිර්මාණයකට අවැසි අමුද්‍රව්‍ය තමන් සතු නිසා, පෙර තීරණය කර තිබූ දෙක; තුන දක්වා ඉහළ දමන්නට එකෙහෙළා සූදානම්.

අධ්‍යක්ෂකවරයා ඒ ගැන කියල තිබුණේ මෙහෙමයි:

“රූගත කිරීම් අවසානයේ තමයි අපට අප කළ නිර්මාණය නිසි ලෙස දැක බලා ගැනීමේ අවස්ථාව හිමිවෙන්නේ. පළමුවැන්නෙහි පෙර සංස්කරණයන් සහ දෙවැන්නෙහි අතරින් පතර වූ කොටස් නැරඹුවහම අපට හිතුණා මේ හැමදේම හරි රහට මුහු වෙලා ඇති බව. කතාව උපරිමයි, විශේෂයෙන්ම ඒ ඒ චරිතවල කාර්යභාරය, ඔවුන්ව ජීවමාන කරවන නළු පිරිසේ ශක්තිය තදට මුසු වෙලා තිබුණා. එතකොට අපට ආවෙ එකම ප්‍රශ්නයයි. අපි මේක තුනක් දක්වා යනවද? ඇත්තෙන්ම වගකිවයුතු චිත්‍රපට නිර්මාණකරුවන් ලෙස, එකම උත්තරේ ‘ඔව්’.

ඒ නිසා.., New Line Cinema, Warner Bros. Pictures, Metro-Goldwyn-Mayer, Wingnut Films සහ අසියලූම නළු සහ ශ්‍රමික පිරිස් වෙනුවෙන්, මම කියන්ඩ කැමතියි මේ දෙක තුනක් බවට පත් වේවි.”

An Unexpected Journey මේ දෙසැම්බරයේ සිනමාශාලාවන් කරා පිවිසෙනකොට, There and Back Again 2013 දෙසැම්බරයේ තමයි එන්ඩ නියමිත.නමුත් තෙවැන්න එතරම් දිගු කලක තැවිල්ලක් නොවෙන බවට විශ්වාසයි. එය 2014 ග්‍රීෂ්ම සමයේ පැමිණීමට නියමිතයි. තවමත් මේ තුන්වැන්නෙහි නම කුමක්දැයි නිශ්චිතව හෙළි කර නැහැ.

උදා (217 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *