Kon-Tiki හිරු දෙවියන්ගේ යාත්‍රාව (දෙවැනි කොටස)

unnamedඅපේ කතා නායකයා වන තෝර් හෙයඩල් ඉපදුනේ 1914 ඔක්තෝබර් මස 6 වැනිදා, නොර්වේ රාජ්‍යයේ, ‘ලාර්වික්’ නමැති ප්‍රදේශයේදී. ඔහු සත්ත්ව විද්‍යාව සහ භූගෝල විද්‍යාව පිලිබඳ උගතකු මෙන්ම මානව විද්‍යාඥයකු ද වුනා. මුළු ලෝකය පුරාම ඔහුගේ නාමය පැතිර ගියේ, 1947 වර්ෂයේදී ඔහු සිදුකල ත්‍රාසජනක සාගර චාරිකාව නිසයි. එහි ඇති විශේෂත්වය කුමක්ද? එහි ඇති විශේෂත්වය වන්නේ නූතන යුගයේ මිනිසකු, වසර දහස් ගණනක් පැරණි තාක්ෂණයට අනුව ජල යාත්‍රාවක්‌ සාදා, මහා සාගරයේ කිලෝමීටර් 8000 ක දුරක්, දින 101 ක් තිස්සේ, නිරුපද්‍රිතව ගමන් කිරීමයි. ඔහු, තම සගයන් පස් දෙනෙකුද සමග, මේ යාත්‍රාවෙන්, දකුණු ඇමරිකාවේ පේරු රාජ්‍යයේ සිට, ශාන්තිකර සාගරය තරණය කරමින්, පොලිනීසියානු දූපත් දක්වා ගමන්කලා. මේ ගමනේ අරමුණ කුමක්ද? තෝර් හෙයඩල් මානව විද්‍යාඥයෙක්. ඔහු විවිධ මානව වර්ග පිළිබඳව තම මතවාද ලොවට ඉදිරිපත් කලා. ඔහුගේ එක් මතයක් වූයේ, වර්තමානයේදී එකිනෙකට කිසිදු සබඳකමක් නැති මානව වර්ගයන් අතර, අතීතයේදී සබඳතා තිබෙන්නට ඇති බවත්, ඒ සබඳතා ගොඩනගාගන්නට සහ පවත්වාගන්නට, ඔවුන් වසර දහස් ගණනකට පෙර, මෙලෙස ඉතා නොදියුණු ජල යාත්‍රා භාවිත කරමින්, සාගර තරණයේ යෙදෙන්නට ඇති බවත්ය. ඔහුගේ මතයට, විරුද්ධ මත දරන්නන්ගෙන් දැඩි ප්‍රහාර එල්ල වුනා. එයින් නොසැලුන ඔහු, සිය මතය ප්‍රායෝගිකවම තහවුරු කරන්නටයි, මේ වීර චාරිකාවේ යෙදුනේ. පහත දැක්වෙන රූපයෙන් පෙන්වන්නේ මේ වීර චාරිකාවේ සැලසුමයි.

 

unnamed (1)වචන දහස් ගණනකින් මේ විස්තරය ලිවිය හැකි වුනත්, ඒ වචන දහස් ගණන මේ ගමනේ වැදගත්කම සහ ත්‍රාසය විස්තර කිරීමට ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒ නිසා හැකි සෑම අවස්ථාවකදීම පින්තූර හෝ වීඩියෝ කොටස් ඇතුලත් කිරීමට උත්සාහ කරනවා.

තෝර් හෙයඩල් මත්පැන් නිෂ්පාදනයේ බලපත්‍රලත් විශේෂඥයකුගේ පුත්‍රයා. නමුත් ඔහු ඒ කර්මාන්තය වෙත නොවෙයි යොමු වුනේ. නව යොවුන් වියේදීම ඔහු උනන්දු වුනේ සත්ත්ව විද්‍යාව හැදෑරීමටයි. ඔහු තම නිවසේ සත්ත්ව විද්‍යාව පිලිබඳ කුඩා කෞතුකාගාරයක් පවා ආරම්භ කලා ශිෂ්‍යයකු වශයෙන් සිටියදී. ඔහු ඔස්ලෝ විශ්ව විද්‍යාලයෙන් සත්ත්ව විද්‍යාව සහ භූගෝල විද්‍යාව යන විෂයයන් ඇතුලත් උපාධි පාඨමාලාවක් හැදෑරුවා. ඒ අතරම ඔහු පෞද්ගලිකව අධ්‍යයනයේ නිරතවුනා පොලිනීසියානු සංස්කෘතිය සහ ඉතිහාසය පිළිබඳව. මේ සඳහා ඔහු ආධාර කරගත්තේ එවකට ඔස්ලෝහි විසූ, ධන කුවේර වයින් වෙළඳ ව්‍යාපාරිකයකු සතුව තිබුණු, එවකට, පොලිනීසියාව පිළිබඳව ලෝකයේ තිබුණු හොඳම පොත්පත්, සඟරා සහ ලිපි ලේඛන එකතුවයි. එම එකතුව කොපමණ වටින්නේදැයි කිවහොත්, පසු කලෙක, ඔස්ලෝ විශ්වවිද්‍යාලය විසින් එය මිලදීගත් අතර, පසුව ඒ සියල්ල, පර්යේෂණ කරන්නන්ගේ ප්‍රයෝජනය සඳහා, කොන් ටිකි කෞතුකාගාරයේ තැන්පත් කලා. තෝර් හෙයඩල් දැඩි කැපවීමකින් හා වෙහෙසකින් යුක්තව සොයාගත් කරුණු ජර්මනියේ බර්ලින් නුවර විශේෂඥයන් වෙත වාර හතකදී දිරිපත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස, ව්‍යාපෘතියක් සූදානම් කෙරුණු අතර, හෙයඩල්ගේ සත්ත්ව විද්‍යාව පිලිබඳ මහාචාර්ය වරුන්ගේ අනුග්‍රහයද ඒ සඳහා ලැබුනා. ශාන්න්තිකර සාගරයේ හුදෙකලාව පිහිටි දූපත් නිරීක්ෂනය කිරීමටත්, ඒවායේ ජීවත්වන සත්ත්ව වර්ග, එහි පැමිණියේ කෙසේද යන්න අධ්‍යයනය කිරීමටත්, මෙම ව්‍යාපෘතියේදී සැලසුම් කර තිබුනා.
unnamed (2)කල් යද්දී ඔහු පොලිනීසියානු දූපත් කාමියකු බවට පත්වුනා. ඔහුගේ කාලය බොහෝවිට ගෙවුනේ මාක්වේසස් දූපත් (Marquesas Islands) යනුවෙන් හැඳින්වුන කුඩා දූපත් 15 කින් පමණ සමන්විත වූ, පොලිනීසියානු දූපත් වලයි. ඔහු වඩාත් ප්‍රිය කලේ පොලිනීසියානු දූපතක් වූ ෆාටු හිවා (Fatu Hiva) හි කාලය ගතකරන්නටයි.

 

unnamed (3) unnamed (4)

මා ඉහතදී ද සඳහන් කලාක් මෙන්, හෙයඩල් විශ්වාස කලේ, දකුණු ඇමෙරිකානු ජන කොට්ඨාශ විසින් ප්‍රාග් කොලොම්බියානු යුගයේදී, ඉතා නොදියුණු මුහුදු යාත්‍රා භාවිත කර, ශාන්තිකර සාගරය තරණය කර ගොස්, පොලිනීසියානු දූපත්හි ජනාවාස පිහිටවූ බවයි. (එහෙත් මේ මතය අද මානව විද්‍යාඥයන් පිළිගන්නේ නැහැ) දැන් ඔහු සූදානම් වන්නේ සිය මතය තහවුරු කිරීමටයි. ඔහු තම ගමන සඳහා, ඔහු මෙන්ම නිර්භීත දක්ෂ සගයන් පස් දෙනෙකු තෝරාගත්තා.

යාත්‍රිකයෝ :-

හෙයඩල් තම කණ්ඩායම තෝරාගත්තේ මෙහෙමයි .

1. එරික් හෙසල්බර්ග්  – Erik Hesselberg (නෝර්වීජියානු ජාතික පළපුරුදු නාවික යාත්රිකයෙකි. කොන් ටිකි යාත්‍රාවේ නියමුවාය. පසුකාලීනව වාර්තා චිත්‍රපට අධ්‍යක්ෂ වරයෙකි.unnamed (5)

 

2. බෙන්ග්ට් ඩනියල්සන් – Bengt Danielsson (ස්වීඩන් ජාතික මානව විද්‍යාඥයෙක්)unnamed (6)

 

3. නූට් හෆ්ලන්ඩ් – Knut Haugland (දෙවැනි ලෝක යුද සමයේදී ජර්මානු ආක්‍රමණ වලින් නොර්වේ රාජ්‍යය නිදහස් කරගැනීමට සටන් කල සටන් කාමියෙක් මෙන්ම කෞතුකාගාර අධ්‍යක්ෂ වරයෙක්)unnamed (11)

 

4. ටෝශියන් රාබි – Torstein Raaby ( කොන් ටිකි යාත්‍රාවේ ගුවන් විදුලි පණිවිඩ හුවමාරු ක්‍රියාකරු, නූට් හෆ්ලන්ඩ් මෙන් නෝර්වීජියානු ජාතික සටන් කරුවෙකි)unnamed (7)

 

5.  හර්මන් වට්සින්ගර් – Herman Watzinger (නෝර්වීජියානු ජාතික යාන්ත්‍රික ඉංජිනේරු වරයෙකි. ජලය සහ එහි හැසිරීම, (ජල විද්‍යාව) සහ කාලගුණය පිලිබඳ විශේෂඥ වරයෙකි. කොන් ටිකි යාත්‍රාවේ කාලගුණ විද්‍යාඥ වරයාය)unnamed (8)

 

6.  හෙයඩල් ගේ සුරතල් ගිරවා ‘ලොරිටා’ – Loritaunnamed (9)

 

ඉහත දැක්වෙන පින්තූර, මේ සියලු දෙනාම මැදි  වයසට පත්වු පසුව සහ සමහර අය ඊටත් පසු ගත් පින්තූර බව අමතක කරන්න එපා. (ගිරවා ඉතින් ගිරවාමනේ) මෙන්න තියනවා ගමන ගිය දවස්වල මේ කට්ටියගේ පෙනුම කොහොමද කියලා බලාගන්න පුළුවන් පින්තූරයක්.

unnamed (10)

දැන් ඉතින් ගමන යන්න කණ්ඩායම සම්පූර්ණයි. නමුත් කෝ යාත්‍රාවක්‌. අනිත් කාරණේ තමයි හෙයඩල් ගේ මතය අනුව මේ ගමන යන්න ඕනේ අවුරුදු දහස් ගණනකට පෙර දකුණු ඇමරිකානු ගෝත්‍රිකයන් විසින් තැනූ නොදියුණු යාත්‍රා වලට සමාන යාත්‍රාවකින්. ඒ නිසා මුලින්ම ඔවුන්ට සිදු වෙනවා දකුණු ඇමරිකාවට ගිහින් එවැනි යාත්‍රාවක්‌ හදන්න. හෙයඩල් ගේ මතය එක අතකින් ඔහුටම අභියෝගයක්. මන්ද තම මතය සනාථ කිරීමටනම් ඔහු කිසිදු නවීන නාවික යාත්‍රා ඉදිකිරීම් ක්‍රමයක් යොදා නොගත යුතුයි. එමෙන්ම කිසිදු බාහිර ආධාරයකින් තොරව යාත්‍රා කලයුතුයි.

ඔන්න ඉතින් ඔබට බලා ඉන්න වෙනවා මේ පිරිස දකුණු ඇමරිකාවේ පේරු රාජ්‍යයට ගිහින් ඒ රටේ ඉපැරණි තාක්ෂණය අනුව යාත්‍රාව හදන තුරු. හැබැයි ඉපැරණි කිව්වට එය අරුම පුදුම තාක්ෂණයක්. යාත්‍රාවේ නිර්මාණය ඔබව විශ්මයට පත් කරනවා සිකුරුයි.

කෙසේ වෙතත් මේ යාත්‍රාව ගැන කෙටි වීඩියෝ වාර්තාවක් ඔබට පෙන්වන්නට මා කැමතියි. කොන් ටිකි යාත්‍රාව තැන්පත් කර ඇති කෞතුකාගාරයේ අධ්‍යක්ෂවරයා වන්නේ තෝර් හෙයඩල් ගේ පුත්‍රයා වන ‘තෝර් හෙයඩල් කනිෂ්ඨ’ යි. (Thor Heyerdahl Junior) පහත දැක්වෙන්නේ ඔහු විසින් තම පියා සහ පිරිස චාරිකාවේ යෙදුන ඒ යාත්‍රාව පිළිබඳව 2009 වසරේදී කරන ලද විස්තරයක්.

විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
විකියා (159 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


විකියා

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

bkinfo has 159 posts and counting.See all posts by bkinfo

Leave a Reply

Your email address will not be published. Required fields are marked *