Kon-Tiki හිරු දෙවියන්ගේ යාත්‍රාව (පළමුවැනි කොටස)

Kon-Tikimaxresdefault

නොර්වේ රාජ්‍යයෙහි අගනුවර වූ ඔස්ලෝ හි ඇති නාවික කෞතුකාගාරයන්හි, නෝර්වීජියානු ජාතික  ආදී නාවිකයන් විසින් නිපදවුණු, මිල කල නොහැකිවූත්, අපූර්ව වූත්, යාත්‍රා ප්‍රදර්ශනය කරනු ලැබේ. එයින්ද  වඩාත් සිත් ගන්නේ, අලංකාර මෙන්ම, අසමාන සුන්දරත්වයකින් යුත්, වයිකින්ග් (Viking) යාත්‍රා තුනකි.

 එහෙත්, ඒ අසලම ඇති තවත් කෞතුකාගාරයක ප්‍රදර්ශනය කොට තිබෙන , එයටම ආවේනික සුන්දරත්වයකින් හෙබි, කොන් ටිකි (Kon Tiki) යාත්‍රාව, මොහොතකට ඔබේ හුස්ම ගැනීම පවා නවත්වන තරමේ විශ්මිත නිමැවුමක් වන අතරම, එය නිපදවූ, එහි නැගී මහා වීර චාරිකාවක යෙදුනු, අසාමාන්‍ය ගවේෂක, මහා මානව විද්‍යාඥ, නෝර්වීජියානු ජාතික තෝර් හෙයඩල්  Thor Heyerdahl පිළිබඳව මහත් ගෞරවනීය හැඟීමක් ඔබ තුල උපදවයි. (මේ නම මා මෙහි දක්වන්නේ නෝර්වීජියානු උච්ඡාරණය අනුව නොව ඉංග්‍රීසි උච්ඡාරණය අනුව බව කාරුණිකව සලකන්න)

 එකක් අඩි දෙකක පමණ විෂ්කම්බයකින් යුත්, එමෙන්ම එකක් අඩි 30 – 45 අතර දිගකින් යුත් බල්සා Balsa නමැති දැව කඳන් නවයක් ගෙන, දිගින් වැඩිම කඳ මැදට සිටිනසේ තබා, හරස් දඬු යොදා, එම දඬු වලට කඹ යොදා ගැටගසා ශක්තිමත් පහුරක් ලෙස සාදා, බට පතුරු විශේෂයකින් සාදනලද යාත්‍රා තට්ටුවක්ද සකසා, ඒ තට්ටුව මත ඉදිවුන විවෘත කුඩා පැලකින්ද යුතු, මේ යාත්‍රාව, දෙපාද අට්ටාලයක ඇටවූ, හතරැස්  රුවලක් සහ යාත්‍රාවේ පතුළට යටින් සවිකල, වරල් හැඩයේ ස්ථිර හබල් පෙති (Centreboard) පහකින් සහ යාත්‍රාව හැරවීමට ආධාරවන ප්‍රධාන හබලකින්ද (Steering-0ar)යුක්ත විය.unnamed

 

 

 

 

unnamed unnamed (1) unnamed (2) unnamed (3)

මේ කතාව මා ජීවිතයේ මුල් වරට කියවුයේ 1970 දශකයේ මුල භාගයේදී බව මතකය. මුලින්ම එය කියවුයේ නවයුගය පුවත්පතෙනි. ඉංගිරිසිය හැකිවූ පසු ඒ භාෂාවෙන්ද කියවුයෙමි. එවකට ලේක්හවුස් ආයතනයෙන් පළකළ නවයුගය ටැබ්ලොයිඩ් පුවත්පත් අප වැනි පාසල් සිසුන්ට දැනුම සාගරයක් නොව දැනුම සප්ත මහා සාගරයක් ම විය. එහෙත් 1970 දශකයේ අග භාගයෙන් පසු දේශපාලනීකරනයවූ ලේක්හවුසිය අද වනවිට දුගඳ හමන දේශපාලන පල්වලක්වී හමාරය. එදා සිට මෙතෙක් පැවති සියලු රජයයන් යටතේ එහි පිරිහීම ඉක්මන් විය. එදා සත පනහේ විශ්ව විද්‍යාලය ලෙස හැඳින්වුන සිළුමිණ පුවත්පත, අද සත පහක්වත් වටින්නේ නැති වන්දිභට්ට පත්තර කඩමාල්ලක් වී තිබීම, අතිශයින් කනගාටුදායකය. එකල අප සතියකට වරක් නවයුගය පත්‍රය පල කරනතුරු බලා සිටින්නේ, තම පෙම්වතිය එනතුරු බස් නැවතුමේ රැඳී සිටින පෙම්වතකු මෙන් නොඉවසිල්ලෙනි. මන්ද, පෙම්වතිය සමග කරන කතාබහ තරම්ම වැදගත් කරුණු දහස් ගණනකින් යුත්, විවිධ විෂයානුබද්ධ ලිපි විශාල ගණනක් නවයුගය පත්‍රයේ තිබුන අතර, ඒ තොරතුරු කියවීමෙන් අපතුල ඇතිවූ බුද්ධි වර්ධනය විශ්මය ජනකය. ඒ ලිපි නැවත නැවත කියවීමට තරම් රසවත් ලෙස එදා ලියවුනේ අදමෙන්, තුට්ටුදෙකේ වචන පාවිච්චි කරන ඊනියා ලේඛකයන් අතින් නොව, විශිෂ්ඨ ලේඛකයන් අතිනි. එසේ නැවත නැවතත් ඒවා කියවීමේ ප්‍රතිඵලය වුයේ අද දක්වාම ඒ දැනුමෙන් සෑහෙන කොටසක් අප මනසෙහි රැඳී තිබීමය. (එහෙත් නවයුගය පත්‍රය මිලදී ගැනීමට අම්මාගෙන් සත 25 ක් ඉල්ලාගනීමට නම් වරු ගණනක් අයාචනා කලයුතු වුයේ අපි සැබැවින්ම දුප්පතුන් වූ නිසාමය) එකල කාලීන තොරතුරු Current Affairs පිලිබඳ විශිෂ්ට දැනුමක් අප සතුවිය. පොත්ගුල්ලන් බවට පත් අපි පුස්තකාල ආක්‍රමණය කරමින් ඔලුව පුරවා ගත්තේ, ඩීමන් ආනන්දගේ පටන් එදිරිවීර සරච්චන්ද්‍ර, ගුණදාස අමරසේකර, සිරිගුනසිංහ, කරුණාසේන ජයලත්, මහගම සේකර,  මෙන්ම බටහිර සම්භාව්‍ය රචකයන්ගේ නිර්මාණ වලිනි. ගුවන්විදුලියෙන් ජෝතිපාලට, මිල්ටන් පෙරේරාට, මොහිදීන් බෙග්ට ලතා වල්පොලට සවන් දුන්නත්, අමරදේවයන්ගේ මධුවන්තියේ රසයද නොමඳව වින්දෙමු. (මධුවන්ති යනු, එකල රාත්‍රී කාලයේ පටන් ගෙන, මහ රෑ අවසන් කරන, ශ්‍රී ලංකා ගුවන් විදුලියේ සන්ධ්‍යා සේවය නම් වූ විශිෂ්ඨ ගුවන් විදුලි සේවයෙහි, අමරදේව ශූරීන් හා මහගම සේකර, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ වැනි මහා වියතුන් ඉදිරිපත් කල හරවත් සංගීත වැඩසටහනකි) අනේ එකල ‘නාලිකා’ තියා ‘බට’ වත් නොතිබුණි. නමුත් ගුවන් විදුලියේ ඇසීමට දෑ අපමණ විය.සිනමාව, සංගීතය, නවකතා, කෙටි කතා පිළිබඳව, සමාජය පිළිගත් විද්වතුන්ගේ විවේචන, විමර්ශන, සංවාද විවාද, අපි පුවත්පත් වලින් කියවුයෙමු. දැනුදු ගුවන්විදුලියේ හෝ රූපවාහිනියේ ප්‍රචාරය වන ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන් වලට සවන්දෙන/නරඹන මම 80% ක පමණ සාර්ථකත්වයකින් යුතුව සිතින් පිළිතුරු දෙමි. කියවීමට, ඇහුම්කන්දීමට, දැනුම සෙවීමට, අපව පෙලඹවූ ගුරුවර, දෙමාපිය, වැඩිහිටියෝ බුදු වෙත්වා.

පාසලෙන් පැවරෙන තම දරුවන්ගේ ගෙදර වැඩ කිරීම, තමන්ගේ කාර්යයක් බවට පත්කරගෙන වෙහෙසෙන දෙමවුපියන් අද කාලයේ දකින විට, මට ඇතිවන්නේ අනුකම්පාවකි. ඒ දෙමවුපියෝ ද අසරණයෝය. එක පිරිසක් තුළ දැනුම ඇතත්, එය තම දරුවාට දෙන්නට අවස්ථාවක් නැති තරමට ඔවුහු මුදල් හම්බකිරීමේ යෙදී සිටිති. තවත් පිරිසක්, වනපොත් කොට විභාග සමත්වූ බැවින් මෙලෝ හසරක් මස්තිෂ්ක කුහරයේවත් රැඳී නැති අසරණයෝය. ටියුෂන් අධ්‍යාපනය තුළමැ ගිලීගිය දරුවෝ, අපිස් ජීවිත වලටමැ ඇතුළු වෙති. උපාධියක්ද, පශ්චාත් උපාධියක්ද, එම්.එස්.සී. උපාධියක්ද දරන මා වැඩිමහල් දියණිය අද රුපියල් 10000 දීමනාවකට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක කඹුරයි. ඒ කුලී වැඩේද ලබාගත්තේ, මා බිරිඳ, යන්තම් සාමාන්‍ය පෙලට උගත්, දෙස්පාලුවකුගේ දෙපාමුලට හත් අට වතාවක් බඩගෑමෙන් අනතුරුවය.  මා දියණිය සතු දැනුම කුමක්දැයි මා කලකිරීමට පත්වන්නේ, පෙරකී ප්‍රශ්න විචාරාත්මක වැඩ සටහනක අසන පැන කීපයකට පිළිතුරු දීමට ඇය උත්සාහ කිරීමේදීය. චන්ද්‍රිකා රූපවාහිනියෙන් ඇය නරඹන්නේ හඩු හින්දි නාලිකා මිස, දැනුම වර්ධනය වන කිසිවක් නොවේ. යටත් පිරිසෙයින් ජාත්‍යන්තර ප්‍රවෘත්ති නාලිකාවක්වත් නරඹන්නේ නැති ඔවුන්ගේ අනාගත දරුවන්ටද අත්වන්නේ, අර ඉරණමම නොවේද?

චූර්ණිකාව දිග වැඩි වුවද නොකියාම බැරි කරුණු කිව්වෙමි. මේ ලිපියේ දෙවැනි කොටසින් ප්‍රස්තුතයට බසිමි. මතු ද මෙවැනි වීර චාරිකා අත්දැකීම් (Adventure Expeditions) පිලිබඳ මා මතකය අවුස්සා, සොයා, ඔබ දැනුවත් කරන්නෙමි.

 

විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com

 

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
විකියා (159 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


විකියා

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

bkinfo has 159 posts and counting.See all posts by bkinfo

2 thoughts on “Kon-Tiki හිරු දෙවියන්ගේ යාත්‍රාව (පළමුවැනි කොටස)

  • April 20, 2016 at 9:25 AM
    Permalink

    බොහොම ස්තුතියි මා විසින් ලියන ලද මේ ලිපි පෙලට මෙලෙස ප්‍රචාරයක් ලබාදීම ගැන.

  • March 13, 2016 at 7:31 AM
    Permalink

    Pattttaaa

Leave a Reply

Your email address will not be published. Required fields are marked *