ලංකාවේදී තහනම් කළ මුල්ම චිත්‍රපටයට අවුරුදු 90 යි

coverමෙරට සිනමා වාරණය පිළිබඳ වඩාත්ම පුළුල් කතාබහක් ඇති වූයේ 1989 වර්ෂයේ ඔක්තෝබර් මාසයේය. ඒ එම ඔක්තෝබරයේ මරදාන එල්ෆින්ස්ටන් සිනමාහලේ තිරගත කරන්නට නියමිතව තිබුණ ස්වීඩන සිනමාකරු ඉංග්මාර් බර්ග්මාන් සිනමා උලෙළේ ප්‍රදර්ශනයට නියමිත ෆැනී ඇන්ඩ් ඇලෙක්සැන්ඩර් චිත්‍රපටය වාරණයට ලක් වීමත් සමඟය. එය වාරණයට ලක් කරන ලද්දේ එවකට ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය මඟිනි. එදවස එහි සභාපති පුටුව දැරුවේ කලා විචාරකයකු මෙන්ම නීතිඥවරයකු වූ ආර්. පල්ලේවෙල මහතාය. බර්ග්මාන් උලෙළට චිත්‍රපට තෝරා ගන්නා ලද්දේ තිස්ස අබේසේකරයන් විසිනි. පල්ලේවෙලගේ කෙස් පැලෙන තර්ක මැද චිත්‍රපටය එවර තිරගත නොවිණි. අන්තිමට මහාචාර්ය සුචරිත ගම්ලත් රැඟුම් පාලක මණ්ඩලයට කලා පොලීසිය නමින් පටබඳින ලද නාමය ඉතිහාස ගත විය. බර්ග්මාන් සිනමා උලෙළ මෙහෙය වන ලද්දේ ස්වර්ණ සංඛ පදනම මඟිනි. එහි සභාපතිවරයා වූයේ ව්‍යාපාරිකයෙකු වූ සුනිල් ෆොන්සේකාය. සුනිල් ඔබ නැතුව ඔබ එක්ක චිත්‍රපටයේ ද විධායක නිෂ්පාදකවරයාය. එහෙත් මේ ලිපිය බර්ග්මාන් සිනමා උලෙළේ වාරණය ගැන ලියන්නට නොවේ. ඒ ගැන කියවන්නට යද්දී සොයා ගන්නට ලැබුණු වෙනත් පුවතක් ගැනය. ඒ ලංකාවේ වාරණයට ලක් වූ මුල්ම චිත්‍රපටය ගැනය. එය ප්‍රේම් සන්‍යාස් නැතහොත් ලයිට් ඔෆ් ඒෂියා විය. එය වාරණයට ලක් වනුයේ 1926 වසරේ මැයි මාසයේය. චිත්‍රපටය මුල්වරට ලොවපුරා තිරගත වනුයේ 1925 වසරේ ඔක්තෝබර් මාසයේ 22 වැනිදාය. ප්‍රේම සන්‍යාස් චිත්‍රපටයට මෙම 22 වැනිදාට අවුරුදු 90 කි.

 

එය ශ්‍රී ලංකවේ තිරගත කරවීම සිදු කරනුයේ එය ආසියාවේ බෙදාහැරීම බාර ගත් මදාන් තියටර්ස් සමාගමය. මදාන් තියටර්ස් එවකට ඉන්දියාවේ සිට මුළු මහත් ආසියාව පුරා ප්‍රදර්ශන ජාලයක් පවත්වාගෙන ගිය සමාගමයි. මරදානේ එල්ෆින්ස්ටන් සිනමාහල ඔවුන් විසින් මෙරට ගොඩනඟන ලද සිනමා ශාලා අතරින් දැනටත් ඉතිරිව ඇති එකම සිනමාහලයි. එහෙත් වෙසක් මාසයේ තිරගත වීමට අර ඇඳි ප්‍රේම් සන්‍යාස් චිත්‍රපටයට එරෙහිව විශාල මතවාදයක් රට පුරා ගොඩනැඟිණ. ඒ ප්‍රේම් සන්‍යාස් චිත්‍රපටයට පාදක වූයේ බුද්ධ චරිතය බැවිනි. එහි සිදුහත් කුමරුගේ චරිතය සාමාන්‍ය ගිහියකු විසින් රඟදක්වනු ලැබීම බෞද්ධයන්ගේ විරෝධතාවට හේතු විය. ඒ සඳහා පැන නැගුණු උද්ඝෝෂණය කෙතරම් ද යත් චිත්‍රපටය මෙරට තිරගත කිරීම වැළැක්වීමට එවකට බ්‍රිතාන්‍ය පාලකයෝ කටයුතු කළහ.

 

ප්‍රේම් සන්‍යාස් යනු කවරෙක්ද? එයට පාදක වනුයේ 1879 වර්ෂයේ එඩ්වින් අර්නෝල්ඩ් නම් ඉංග්‍රීසි ජාතික කිවියා විසින් බුදු සිරිත අලළා රචනා කරන ලද ද ලයිට් ඔෆ් ඒෂියා නම් කාව්‍යයයි. මේ ග්‍රන්ථය සමඟ බෞද්ධාගම පිළිබඳ අලුත් ආලෝකයක් ලොව පුරා පැතිරිණ. බුදු සිරිත අලළා ඒ වන විට ඉංග්‍රීසි බසින් නිකුත්ව තිබුණේ ග්‍රන්ථ කිහිපයකි. ඒ අතරින් ද ලයිට් ඔෆ් ඒෂියා මහත් සම්භාවනාවකට පාත්‍ර වූ කෘතියක් වූයේය. මේ ග්‍රන්ථය චිත්‍රපටයක් බවට පරිවර්තනය වනුයේ හිමන්සු රායි ගේ කැපවීම මතය. එහි සිද්ධාර්ථ චරිතය රඟනුයේ ද හිමන්සු රායිය. තිර නාටක රචක නිරන්ජන් පාල් මෙන්ම එහි අධ්‍යක්ෂ ෆ්‍රාන්ස් ඔස්ටන්ට ද වඩා එහි කැපී පෙනුණේ හිමන්සු රායි ගේ නාමයයි.

 

1892 වසරේ වර්තමාන බංග්ලා දේශයට අයත් එවකට ඉන්දියාවේ ඩකා නගරාශ්‍රිත ධනවත් වංග ජාතික ව්‍යාපාරික පවුලක දරුවකු ලෙස උපත ලබන හිමන්සු රායි ජීවත් වනුයේ වසර 48 කි. නූතන ඉන්දීය සිනමා කර්මාන්තයට දැවැන්ත අඩිතාලමක් දමන්නට හිමන්සු රායි විසින් එම කෙටි ජීවිත කාලය ඇතුළත සමත් විය. කල්කටා විශ්ව විද්‍යාලයේ හා රවින්ද්‍රනාත් තාගෝර්ගේ ශාන්ති නිකේතනයේ අධ්‍යාපනය ලබන හිමන්සු රායි එංගලන්තයට ගියේ නීතිඥවරයකු වන්නටය. මේ වන විට තාගෝර් ඇසුර සමඟ කලා ආභාසයන් වර්ධනය කර ගත් හිමන්සුගේ ජීවිතය වෙනස් වනුයේ ඒ වන විට එංගලන්තයේ ජීවත් වන ඉන්දීය නාට්‍යකරුවකු වන නිරන්ජන් පාල් හමුවීමත් සමඟය. ඉන්දීය නිදහස් සටනේ පුරෝගාමියකු වන බිජින් චන්ද්‍රපාල්ගේ පුතණුවන් වන නිරන්ජන් ලයිට් ඔෆ් ඒෂියා ඇසුරෙන් තැනූ වේදිකා නාට්‍යය එංගලන්තයේදී ජනප්‍රිය විය. මෙම නාට්‍යයේ සාර්ථකත්වය ඇස ගැසුණේ එය නරඹන්නට පැමිණි ජර්මානු සිනමාකරු ෆ්‍රාන්ස් ඔස්ටන්ටය. හිමන්සු, නිරන්ජන් හා ඔස්ටන් එකතුව ලයිට් ඔෆ් ඒෂියා නැතහොත් ප්‍රේම් සන්‍යාස් චිත්‍රපටයේ මුලාරම්භය එය විය.

 

චිත්‍රපටය ආරම්භ කිරීම සඳහා හිමන්සු රායි ගේට් ඊස්ටර්න් නමින් සමාගමක් ගොඩනංවන ලදී. ඒ වන විට ෆ්‍රාන්ස් ඔස්ටන් හා ඔහුගේ සොහොයුරු පිටර් ඔරිජිනල් සයිසොග්‍රාෆ් කම්පැණි නමින් සංචාරක චිත්‍රපට සමාගමක් ගොඩනංවා තිබිණි. ජර්මනියේ ප්‍රධාන සමාගමක් වන බැවේරියා ෆිල්ම් බවට පරිවර්තනය වනුයේ ඔස්ටන් (ඔස්ටර්මේයර්) සහෝදරවරුන්ගේ සමාගමය. චිත්‍රපට ප්‍රදර්ශනයෙන් බැහැරව පළමු ලෝක මහා යුද්ධයේ යුද වාර්තාකරුවකු මෙන්ම සිනමාකරණයේ ද ෆ්‍රාන්ස් නියැළිණ. ඔහුගේ ලයිට් ඔෆ් ඒෂියා චිත්‍රපටයට දායක වනුයේ එහි මුල් කෘතිය හා බැඳුණු විවෘත මනසින් යුක්තව ය. චිත්‍රපටය සඳහා තාක්ෂණික ශිල්පින් හා උපකරණ ද ජර්මන් හවුලෙන් ලැබිණි. ඉන්දියාවේ දී චිත්‍රපටය සඳහා ජායිපූර් මහරාජා ද දායක විය. චිත්‍රපටයේ රූපගත කිරීම් සඳහා පසුතල තෝරා ගැනුණේ ලාහෝරයෙනි. එය වර්තමානයේ පාකිස්තානයට අයත්ය. චිත්‍රපටයේ පසුතල නිර්මාණය හා ඇඳුම් නිර්මාණය සඳහා ඒ වන විට එංගලන්තයේ ගෘහ නිර්මාණ ශිල්පය හදාරමින් සිටි දේවිකා රාණි එක් වූවාය. තාගෝර්ගේ මිණිබිරියක වූ දේවිකා පසුව හිමන්සු රායිගේ භාර්යාව වූවාය. එපමණක් නොව පසුව චිත්‍රපට නිළියක වූවාය. වත්මන් ඉන්දියානු සිනමා කර්මාන්තයට මුල පිරූ බොම්බේ ටෝකිස් සමාගම ගොඩ නැඟීමේදී හිමන්සුට දායක වූ ඇය සිය සැමියාගේ අභාවයෙන් පසුව ද ටික කලක් එය පවත්වා ගෙන ගියාය. එමෙන්ම වංශවත් පවුලකින් චිත්‍රපට රංගනයට පිවිසි දෙවැනි ඉන්දීය කාන්තාව ඇයයි.

 

සිද්ධාර්ථ චරිතය සඳහා රංගනයෙන් දායක වූයේ හිමන්සු රායි වන අතර යශෝධරා (එය මේ කෘතියේ හැඳින්වනුයේ ගෝපා නමිනි) චරිතය සඳහා තෝරා ගත්තේ රෙනී ස්මිත්ය. රෙනී ඇංග්ලෝ ඉන්දියානු යුවතියක වූවාය. සිනමාව සඳහා ඇයගේ නම සීතා දේවි ලෙස වෙනස් කරන ලදී. (රෙනී මෙන්ම ඇයගේ සොයුරිය පර්සි ස්මිත් ද මෙනමින් පෙනී සිටියාය) චිත්‍රපටයේ සෙසු චරිත අතරින් මායා දේවිය ලෙස රානි බාලා ද, සුද්ධෝදන රජු ලෙස සර්ධා උකිල් ද සෙසු චරිත සඳහා බාබා භාරති, ප්‍රෆුල්ලා රෝයි, මධු බාසු ආදීන් ද එක් වූහ.

 

ලයිට් ඔෆ් ඒෂියා නැතහොත් ප්‍රේම් සන්‍යාස් සමකාලීන නිහඬ ඉන්දියානු චිත්‍රපටවලින් බැහැර වනුයේ එය ජාත්‍යන්තර වෙළඳපොළ කෙරෙහි අවධානය යොමු කරමින් තැනීමත් සමඟය. එහි කැමරාව අධ්‍යක්ෂණය කරන ලද්දේ ජෝශෆ් වර්ෂිංග් සහ විලී කියර්මේලර් යන ජර්මානුන් දෙදෙනාය. මේ අතරින් පසු කලකදී වර්ෂිංග් ඉන්දියාවේ බින්න බැස්සේය. අතිශය ජනප්‍රිය හින්දි චිත්‍රපට අතර වන අචුත් කන්‍යා. මහල්. දිල් අප්නා ඕර් ප්‍රීත් පරායේ, පාකීෂා වැනි චිත්‍රපට රාශියක කැමරා අධ්‍යක්ෂ වූයේ ජෝශෆ් වර්ෂිංග්ය. ඔහු මිය ගියේ පාකීෂා චිත්‍රපටය රූගත කරන අතරතුර හදිසි හෘදයාබාධයකිනි.

 

චිත්‍රපටය ඇරඹෙනුයේ සංචාරකයන් පිරිසක් අරභයා අතීතයේ දවසක රජකම අත් හළ ශ්‍රේෂ්ඨ භාරත පුත්‍රයා පිළිබඳ කතාවක් පවසන මහල්ලෙකු ගෙනි. කළු සුදු චිත්‍රපටයක් වුව ද එය දැවැන්තභාවය ගොඩ නඟන්නට චිත්‍රපටය පුරා කැමරා ශිල්පීන් සමත් විය. ඒ පුළුල් පසුතල සහිත රූප රාමු හැසිරවීමෙනි. චිත්‍රපටයේ රංගනය පුරා ද එය සමකාලීන ඉන්දීය නිහඬ චිත්‍රපටවලින් වෙන් කොට ගන්නා ලක්ෂණ බොහොමයකි.

 

ද ලයිට් ඔෆ් ඒෂියා චිත්‍රපටය ලොව පුරා ජනප්‍රිය විය. එය විචාරකයන්ගේ පුළුල් අවධානය ද දිනා ගත්තේය. එහෙත් එය එතෙක් පැවැති ඉන්දියානු සම්ප්‍රදායන් ගුරු කොට ගත්තේ නැත. චිත්‍රපටය තිරගත වීම තහනම් කරන ලද්දේ ශ්‍රී ලංකාවේදී පමණය.

 

එයින් පසු හිමන්සු රායි ෆ්‍රාන්ස් ඔස්ටන් හා නිරන්ජන් පාල් එකතුවෙන් ශිරාග් නිර්මාණය කෙරිණ. ශිරාග් චිත්‍රපටයට පාදක වූයේ ටජ්මහල් ගොඩනැංවීම පිළිබඳ කතාන්තරයයි. මේ තිදෙනාගේ තුන්වැන්න අරාබි නිසොල්ලාසය හා මහා භාරතය ඇසුරු කරමින් රචනා වූවකි. ඒ ප්‍රපංච පාශ්ය. 1933 දී ඔවුන්ගේ මුල්ම කතානාද චිත්‍රපටය කර්ම එළිදැක්විණ. එහි ප්‍රධාන නිළිය ලෙස එතෙක් රඟපෑ සීතා දේවි වෙනුවට දේවිකා රාණි රංගනයට යොමු වූවාය. කතානාද සිනමාව ආරම්භයත් සමඟ එතෙක් ඉන්දියානු සිනමාව අරක්ගෙන සිටි ඇංග්ලෝ ඉන්දියානු නළු නිළියන් රැසකට උන් සිටි තැන් අහිිමි විය. ඒ ඔවුනට නිසි ලෙස ඉන්දීය වදන් හසුරු විය නොහැකි හේතුවෙනි.

 

කතානාද සිනමාව ආරම්භයත් සමඟ හිමන්සු රායි බොම්බේ ටෝකිස් නම් දැවැන්ත නිෂ්පාදන සමාගම ද ආරම්භ කළේය. එය ඉන්දියාවේ සමාගම් පනත යටතේ කොටස් වෙළඳපොළ ලැයිස්තුගත කරන ලද මුල්ම සිනමා සමාගම විය. එහි අති සාර්ථක අවධියේ කොටස් වෙළෙඳපොළ අගය ඉහළම ස්ථානයක රඳවා ගැනීමට බොම්බේ ටෝකිස් සමත් විය. මෙම සමාගම විසින් ගොඩනංවන ලද දැවැන්ත චිත්‍රාගාරය පරිබාහිර ශබ්දවලින් තොර දැවැන්ත පසුතල, සංස්කරණ මැදිරි, සිනමා ශාලා හා යුරෝපීය කාර්මික ශිල්පීන්ගෙන් ද සමන්විත විය. ජවානි කි හවා එහි මුල්ම චිත්‍රපටය විය. අවුත් කන්‍යා, ජන්ම භූමි, ජීවන් නයියා, මම්තා, මියා බිව ඉසාත්, ජීවන්, දුර්ගා, ජ්වාර් භාතා, මහල් වැනි සාර්ථක චිත්‍රපට රැසක් තැනූ එහි අවසන් චිත්‍රපටය 1954 දී තැනූ බාදන් චිත්‍රපටයයි.

 

දේවිකා රාණි, අශෝක් කුමාර්, රාජ් කපූර්, මධුබාලා, දිලිප් කුමාර්, දේව් ආනන්ද් ආදී ජනප්‍රිය බොහෝ සිනමා තාරකා බොම්බේ ටෝකිස් නිෂ්පාදන විය. දෙවන ලෝක මහා යුද්ධය සමාගමේ අනාගතයට තදින් බලපෑවේය. එවකට බ්‍රිතාන්‍ය රජය මඟින් බොම්බේ ටෝකිස් හි ප්‍රධාන සිනමාකරු වූ ෆ්‍රාන්ස් ඔස්ටන් නාසි ඔත්තුකරුවකු යැයි සැක කරන ලදුව ඔහු සමඟම ජර්මානු ශිල්පීන් රාශියක් ඉන්දියාවෙන් පිටුවහල් කළේය. එය හිමන්සු රායිගේ මානසික කඩා වැටීමට හේතු විය. මේ සමඟ රායි සමග ඇති වූ ආරාවුලකින් නිරන්ජන් පාල් ද බොම්බේ ටෝකිස් වෙතින් ඉවත්ව යළි එංගලන්තයට ගියේය. ඉන්පසු චිත්‍රාගාර කළමනාකරු එන්. ආර්. ආචර්යා කාංගන් නම් චිත්‍රපටය නිම කළේය. එය හිමන්සු රායිගේ ද අවසාන චිත්‍රපටය විය. දිගින් දිගටම රෝගාතුර වූ ඔහු 1940 මැයි 19 දා අභාවප්‍රාප්ත විය.1

දේවිකා රාණි සමාගම යළි ගොඩනැංවූවේ ශශාධර් මුකර්ජිගේ සහායෙනි. කිස්මත් ඇගේ ජනප්‍රියම චිත්‍රපටයක් විය. එහෙත් ඉතා ටික කලකින් ශශාධර් සිය මස්සිනා වූ අශෝක් කුමාර් හා එක්ව ෆිල්ම්ස්තාන් සමාගම ගොඩනැංවූයේය. එය දේවිකා රාණි බලාපොරොත්තු වූවක් නොවේ. මේ සමාගම් දෙක අතර නිරන්තර අරගල පිළිබඳ ඕපාදූප පැතිරිණ. ඒ වන විට බොම්බේ ටෝකිස් සඳහා ප්‍රධාන ආයෝජනකයා වූ රාජ් නාරායන් ඩුවේ ඉවත්වීම ඉතා තදින් සමාගමට බලපෑවේය. එසේ වුව ද මහල් චිත්‍රපටය අති සාර්ථක වූයේය. එහෙත් තවදුරටත් සමාගම ඉදිරියට ගෙන යාමට දේවිකා රාණිට හැකි වූයේ නැත. සමාගමෙන් බිහි වූ බොහෝ දෙනා අලුත් සමාගම් ගොඩනඟා ගත්හ. 1954 දී බොම්බේ ටෝකිස් අවසාන දොරටුව වසන ලදී. 1969 දී ඉන්දීය සිනමාව වෙනුවෙන් පිදෙන ඉහළම සම්මානය වූ දාදා සහාබ් පාල්කේ සම්මානය දේවිකා රාණිට පිරිනමන ලදී. 1994 දී 85 හැවිරිදි වියේදී දේවිකා රාණි බැංගලෝරයේදී හුදෙකලාව මිය ගියාය.

 

එහෙත් බොම්බේ ටෝකිස් හරහා ගොඩනැඟුණු ඊළඟ පරම්පරාවන් ඉන්දීය සිනමාව ලොවපුරා ගෙන ගියේය.

 

(සරසවිය පුවත්පතේ සහ සරසවිය වෙබ් අඩවියේ පලවූ ලිපියකි. (http://www.sarasaviya.lk/2015/10/08/?fn=sa15100811))

මේ ලිපියෙත්.  අදහස් හා යෝජනා කියන්නකෝ

තවත් තොරතුරු ලබා ගන්න… මගේ බ්ලොග් පිටුවට එන්න

චාරුක ලක්ෂිත (9 Posts)


One thought on “ලංකාවේදී තහනම් කළ මුල්ම චිත්‍රපටයට අවුරුදු 90 යි

  • October 16, 2015 at 8:33 AM
    Permalink

    වැදගත් ලිපියක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *