666 Park Avenue, Last Resort සහ Partners විකාශය නවතා දමයි.

අප ඔබට කීවා මතකද, මෙම වසරේ විකාශය ඇරඹෙන ‘Last Resort’ නම් ටෙලි-කතා මාලාවක් ගැන. එහි විකාශක නාලිකාව වන ABC’ය එය නවතා දමන්නට තීරණය කරලා. හේතුව ලෙස; එහි අන්තර්ගත කතා තේමාව වාණිජමය රූපවාහිනී විකාශක සමාගමකට ඔරොත්තු නොදීම කියලලු කියල තියෙන්නේ. එහි අඩංගු වන කතාව එවැනි රූපවාහිනී සමාගමකින් විකාශය කරන මාලා නාටකයකට වඩා චිත්‍රපට නිර්මාණයක් වෙනුවෙන් සුදුසු වන බවක් ඔවුන් හිතනවා වාගෙයි. එම කතා මාලාවේ දැනට නිෂ්පාදනය කර අවසන් කොට ඇති කොටස්වලට අමතරව අලුතින් කොටසක් හෝ දෙවැනි කතාංගයක් නොකරන්නට ඔවුන් තීරණය කරලා. නමුත් අවසන් කොටස තෙක් මෙය විකාශය කිරීමෙන් පසු නවතා දමන බව ඔවුන් කියා තිබෙනවා. වාර්තාවන්ට අනුව මෙය සාපේක්ෂව ඉහළ ප්‍රතිචාර ලබමින් තිබෙද්දී’යි මේ තීරණය ගෙන තිබෙන්නේ.

එමෙන්ම එහිම විකාශය ඇරඹි තවත් ටෙලි-කතා මාලාවක් වන 666 Park Avenue ද නවතා දමන්නටයි යන්නේ. එහි අඩංගු කතාව හරියට Lost ටෙලි-කතා මාලාවේ වැනි අධිසාමාන්‍ය සිදුවීම් ‍රැගත් එකක් වුණත්, මේ පසුගියදාක හැමූ Sandy එහි දර්ශන තලයට හානි කිරීමත් ලබාගන්නා ප්‍රතිචාර හීන වී යාමත් තමා මීට හේතු වෙලා තියෙන්නේ. මෙහිත් දැනට නිෂ්පාදනය කර අවසන් කොටස් හැරුණුකොට නව කොටස් හෝ කතාංගයක් නොතැනෙනු ඇති. අවසන් කොටස දක්වා විකාශය කිරීමෙන් පසුව මෙයත් නවතා දැමෙන්නටයි නියමිත.

CBS නාලිකාව මේ වසරේ විකාශය ආරම්භ කරන්නට යෙදුණ Partners ටෙලි-කතා මාලාව නවතා දමන්නට ඔවුන් ද තීරණය කොට තිබෙනවා. කාලීන ප්‍රහසන ගණයට වැටෙන මෙය මෙනමින්ම යුතුව 1995 දී FOX නාලිකාවෙන් විකාශය වූ කතාවට ඉතාම සමාන වීම හේතුවෙන්, මෙය තවදුරටත් විකාශය කිරීම ඵලක් නැති වැඩක් බව ඔවුන් තීරණය කරලා. අර කී ඉස්සර විකාශය වූ කතාවේ තිර රචකයා, අධ්‍යක්ෂකවරයා සහ තවත් කීප දෙනක් මෙම නිෂ්පාදනයට ද දායක වී ඇති බව කියැවෙනවා. එමෙන්ම පෙර කතා මාලාවට පාදක කරගත් අවධියම මීටද යොදා ගෙන ඇති නිසා මෙය හරියටම එහි අනුකරණයක් වාගෙයිලු. එනිසා මිනිසුන් අතරට යන්ඩ මීට නොහැකි වීම හේතුවෙන් මෙය නවතා දමන්නට එම නාලිකාව විසින්ද තීරණය කර තිබෙන අතර මෙය අතරමග නවතා දමා තිබෙනවා. ඒ වෙනුවට දැන් එම නාලිකාවෙන්ම මීට පෙර විකාශය වූ Two and Half Men යළි විකාශයක් වෙනුවෙන් එම කාල සීමාව වෙන්කොට තිබෙන බව සඳහන්.

උදා (217 Posts)


2 thoughts on “666 Park Avenue, Last Resort සහ Partners විකාශය නවතා දමයි.

  • November 22, 2012 at 9:18 AM
    Permalink

    🙁 දුක තමා

  • November 22, 2012 at 9:17 AM
    Permalink

    අපරාදේ නේ 🙁

Leave a Reply

Your email address will not be published. Required fields are marked *